ආසි­යානු වෙරළ ක්‍රීඩා ඉති­හා­සයේ පළමු රන් පද­ක්ක­මට ශ්‍රී ලංකා කබිඩි ක්‍රීඩි­කාවෝ අද සටනේ

ආසි­යානු වෙරළ ක්‍රීඩා ඉති­හා­සයේ ශ්‍රී ලංකා­වට පළමු රන් පද­ක්කම දිනා දීම වෙනු­වෙන් සටන් වැදී­මට ශ්‍රී ලංකා කබඩි ක්‍රීඩි­කාවෝ සමත්ව සිටිති.

ශ්‍රී ලංකා පිල අද මෙරට වේලාවෙන් පෙරවරු 7.30ට ප්‍රබල ඉන්දීය පිල සම­ඟින් රන් පද­ක්කම දිනා ගැනීම වෙනු­වෙන් තරග බිමට පිවි­සී­මට නිය­මි­තය.

ඊයේ පැවති කාන්තා කබඩි දෙවැනි අව­සන් පූර්ව වට­යේදී නේපා­ලය ලකුණු 46-23ක් ලෙස පරා­ජය කර­මින් ශ්‍රී ලංකා කාන්තා පිල මේ අව­ස්ථාව උදා කර ගත්තේය. මින් පෙර මේ ක්‍රීඩා උලෙළ ඉති­හා­සයේ ලෝකඩ පද­ක්කම් දිනා ඇති ශ්‍රී ලංකාව රන් පද­ක්කම වෙනු­වෙන් සට­නට පිවිසි පළමු අව­ස්ථාව මෙයයි.

නේපා­ල­යට එරෙහි තර­ගයේ පළමු භාග­යේ­දීම ලකුණු 24-12ක් ලෙස පෙර­මු­ණ­ගත් ශ්‍රී ලංකා පිල දෙවැනි වටය නිමා කළේ ලකුණු 22-11ක් ලෙසිනි.

මූලික වට­යේදී ඉන්දි­යාව හමුවේ 44-32ක් ලෙස පරා­ජය වූ ශ්‍රී ලංකා කාන්තා පිල සිරි­යා­වට එරෙහි තර­ගය ලකුණු 51-19ක් ලෙස ජය ගනි­මින් අව­සන් පූර්ව වට­යට එක්විය.

පිරිමි කබඩි කණ්ඩා­ය­මට පළමු අව­සන් පූර්ව වට­යේදී ඉරා­නය හමුවේ ලකුණු 42-29ක් ලෙස පරා­ජය වීමෙන් අව­සන් තර­ගය අහිමි වී ගියේය. පිරිමි කණ්ඩා­යම ද මූලික වට‍ෙය්දී ඉන්දි­යාව හමුවේ පරා­ජය වූ අතර, තායි­ල­න්තය සහ චීන තායිපේ පරා­ජය කර­මින් අව­සන් පූර්ව වට­යට පිවි­සි­යේය. එම තර­ගය පරා­ජය වීම හේතු­වෙන් ශ්‍රී ලංකා පිරිමි පිලට ලෝකඩ පද­ක්ක­මෙන් නතර වීමට සිදු විය.

මේ අතර ආසි­යානු වෙරළ ක්‍රීඩා ඉති­හා­සයේ ශ්‍රී ලංකා­වට පළමු රිදී පද­ක්කම හිමි­කර දීමට කාන්තා දුර පැනීමේ ඉස­ව්වට එක් වූ ඉෂාරා සම­න්මලි සමත් වූවාය. ඇය මීටර් 5.87ක දක්ෂ­තා­වක් දැක්වූ අතර, එම ඉස­ව්වට එක් වූ ශෂි­කලා ලංකා­ති­ලක මීටර් 5.83කින් ලෝකඩ පද­ක්කම දිනා ගත්තාය.

පිරිමි දුර පැනීමේ ඉස­ව්වේදී මීටර් 7.37ක දක්ෂ­තා­ව­කින් ශ්‍රී ලංකා­වට ලෝකඩ පද­ක්ක­මක් දිනා දීමට ජයත්‍ර සම්පත් මිර­න්දට හැකි විය. මීටර් 60 සහාය ඉස­ව්වට එක්වූ මනුජ ප්‍රභාෂ්, මලිත් තමෙල්, මලිත් තරු­ෂාන් සහ සඳුන් දිය­ල­වත්ත ශ්‍රී ලංකා­වට තෙවැ­නි­ ලෝ­කඩ පද­ක්කම දිනා දීමට සමත් වූහ. ඔවුන් ඒ සඳහා තත්පර 27.57ක කාල­යක් වාර්තා කළහ.