ආසියානු වෙරළ ක්රීඩා ඉතිහාසයේ ශ්රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීම වෙනුවෙන් සටන් වැදීමට ශ්රී ලංකා කබඩි ක්රීඩිකාවෝ සමත්ව සිටිති.
ශ්රී ලංකා පිල අද මෙරට වේලාවෙන් පෙරවරු 7.30ට ප්රබල ඉන්දීය පිල සමඟින් රන් පදක්කම දිනා ගැනීම වෙනුවෙන් තරග බිමට පිවිසීමට නියමිතය.
ඊයේ පැවති කාන්තා කබඩි දෙවැනි අවසන් පූර්ව වටයේදී නේපාලය ලකුණු 46-23ක් ලෙස පරාජය කරමින් ශ්රී ලංකා කාන්තා පිල මේ අවස්ථාව උදා කර ගත්තේය. මින් පෙර මේ ක්රීඩා උලෙළ ඉතිහාසයේ ලෝකඩ පදක්කම් දිනා ඇති ශ්රී ලංකාව රන් පදක්කම වෙනුවෙන් සටනට පිවිසි පළමු අවස්ථාව මෙයයි.
නේපාලයට එරෙහි තරගයේ පළමු භාගයේදීම ලකුණු 24-12ක් ලෙස පෙරමුණගත් ශ්රී ලංකා පිල දෙවැනි වටය නිමා කළේ ලකුණු 22-11ක් ලෙසිනි.
මූලික වටයේදී ඉන්දියාව හමුවේ 44-32ක් ලෙස පරාජය වූ ශ්රී ලංකා කාන්තා පිල සිරියාවට එරෙහි තරගය ලකුණු 51-19ක් ලෙස ජය ගනිමින් අවසන් පූර්ව වටයට එක්විය.
පිරිමි කබඩි කණ්ඩායමට පළමු අවසන් පූර්ව වටයේදී ඉරානය හමුවේ ලකුණු 42-29ක් ලෙස පරාජය වීමෙන් අවසන් තරගය අහිමි වී ගියේය. පිරිමි කණ්ඩායම ද මූලික වටෙය්දී ඉන්දියාව හමුවේ පරාජය වූ අතර, තායිලන්තය සහ චීන තායිපේ පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසියේය. එම තරගය පරාජය වීම හේතුවෙන් ශ්රී ලංකා පිරිමි පිලට ලෝකඩ පදක්කමෙන් නතර වීමට සිදු විය.
මේ අතර ආසියානු වෙරළ ක්රීඩා ඉතිහාසයේ ශ්රී ලංකාවට පළමු රිදී පදක්කම හිමිකර දීමට කාන්තා දුර පැනීමේ ඉසව්වට එක් වූ ඉෂාරා සමන්මලි සමත් වූවාය. ඇය මීටර් 5.87ක දක්ෂතාවක් දැක්වූ අතර, එම ඉසව්වට එක් වූ ශෂිකලා ලංකාතිලක මීටර් 5.83කින් ලෝකඩ පදක්කම දිනා ගත්තාය.
පිරිමි දුර පැනීමේ ඉසව්වේදී මීටර් 7.37ක දක්ෂතාවකින් ශ්රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දීමට ජයත්ර සම්පත් මිරන්දට හැකි විය. මීටර් 60 සහාය ඉසව්වට එක්වූ මනුජ ප්රභාෂ්, මලිත් තමෙල්, මලිත් තරුෂාන් සහ සඳුන් දියලවත්ත ශ්රී ලංකාවට තෙවැනි ලෝකඩ පදක්කම දිනා දීමට සමත් වූහ. ඔවුන් ඒ සඳහා තත්පර 27.57ක කාලයක් වාර්තා කළහ.








