රුසියානු – ශ්‍රී ලංකා තරුණ හා ක්‍රීඩා සබඳතා අලුත් වෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් එස්. ජගාරියන් (H.E. Levan S. Dzhagaryan) මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර නිල හමුවක් අද (23) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනුදු සමන් හෙන්නායක මහතා ද එක්විය.
දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තරුණ හා ක්‍රීඩා ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවක් පැවැත්විණි.

දෙරටේ තරුණ තරුණියන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

රුසියාවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සමුළුවලට සහභාගී වන ලෙස රුසියානු තානාපතිවරයා විසින් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වෙත මෙහිදී නිල වශයෙන් ආරාධනා කර සිටියේය.

රුසියාව සතු දියුණු ක්‍රීඩා තාක්ෂණය සහ පුහුණු ක්‍රමවේද ශ්‍රී ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු විය.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම් අරුණ බණ්ඩාර මහතා සහ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටි අතර, රුසියානු තානාපති කාර්යාලය නියෝජනය කරමින් දෙවන ලේකම් ගලීනා කුක්ලිනා (Ms. Galina Kuklina) මහත්මිය ද සහභාගී වූවාය.

මෙම හමුව ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට ජාත්‍යන්තර අවස්ථා විවර කරදෙන තීරණාත්මක සංධිස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.