ක්‍රිකට් ක්‍රීඩකයින්ට තරග ජයග්‍රහණයට බෝනස් ලැබෙන, පරාජයට ගෙවීම් කැපෙන නව ක්‍රමවේදයක්

ක්‍රිකට් ක්‍රීඩකයින් තරග ජයග්‍රහණය කිරීමේදී සහ පරාජය වීමේදී ඔවුන්ට සිදු කරන ගෙවීම්වල සංශෝධනයක් සිදු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පවසනවා.

තරග ජය ගතහොත් ප්‍රසාද දීමනාවක් හිමි වන අතර, තරග පරාජය වුවහොත් ක්‍රීඩකයින්ගේ ගෙවීම් කපා හැරීමේ ක්‍රමවේදයක් මෙහිදී ක්‍රියාත්මක වන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව, මීට අදාළ කොන්දේසි ක්‍රීඩකයින් සඳහා ලබා දෙන වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුමට ඇතුළත් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට සහ කමිටුවට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බවට මාධ්‍ය වාර්තා පළ වුවද, එවැනි කිසිදු නිල දැනුම්දීමක් ලැබී නොමැති බවයි ඈෂ්ලි ද සිල්වා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.