මාලදිවයින් “Fasmeeru” නිෂ්පාදන පෙළ ශ්‍රී ලංකා වෙළඳපොළට නිල වශයෙන් හඳුන්වා දීම ඊයේ (05) කොළඹදී සිදු විය.
සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාලදිවයින් ජනරජයේ ජනාධිපති මොහොමඩ් මුයිසු (Mohamed Muizzu) මහතා සහභාගී විය. ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ , ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් යන මහත්වරුන් සහභාගී වූහ.
මාලදිවයින් කාර්මික ධීවර සමාගම (MIFCO) හි ප්‍රමුඛතම ටූනා (Tuna) සන්නාමය වන “Fasmeeru” නිෂ්පාදන මෙරටට බෙදාහැරීමේ සුවිශේෂී නිල නියෝජිතයා ලෙස ඩිවලොප්මන්ට් ඉන්ටර්ප්ලෑන් සිලෝන් ලිමිටඩ් (DICL) සමාගම සහ මාලදිවයින් කාර්මික ධීවර සමාගම (MIFCO) සමඟ එක්ව මෙම නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දී ඇත.
Fasmeeru” මෙරටට හඳුන්වා දීම ශ්‍රී ලංකා-මාලදිවයින් වෙළඳ සබඳතාවල කැපී පෙනෙන වර්ධනයක් වන අතර, එමඟින් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට උසස් තත්ත්වයේ, වගකීම් සහගත ලෙස සපයාගන්නා මුහුදු ආහාර ලබා ගැනීමට අවස්ථාව සැලසෙනවා සේම දෙරටේ ප්‍රමුඛතම ආයතන අතර පවතින ද්විපාර්ශ්වික වාණිජ සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇත.
මෙම සහයෝගීතාවය හරහා, DICL සමාගම සතු ශක්තිමත් සැපයුම් දාමය සහ බෙදාහැරීමේ ජාලය උපයෝගී කරගනිමින්, ශ්‍රී ලංකාවේ සංචාරක සහ ආගන්තුක සත්කාරක ක්ෂේත්රය වෙත සෘජුවම සමීප වීමට අපේක්ෂා කරයි.
තවද ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත ඔවුන්ගේ “Zefro” සිල්ලර හා තොග වෙළෙඳ ජාලය හරහා, මෙම මුහුදු ආහාර නිෂ්පාදන දිවයින පුරා සිටින පාරිභෝගිකයින්ට වඩාත් පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමට ද සමාගම සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවට මාලදිවයිනේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් මෙන්ම දෙරටේ මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.








