අමෙරිකාව සහ ඉරානය අතර පවතින නොසන්සුන්කාරී සටන් විරාමය හමුවේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමා සති 10ක් ගතවීමට ආසන්න වෙත්ම, ඉහළ යන තෙල් මිල හමුවේ ගෝලීය ගුවන් ගමන් ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට ලක්ව තිබේ.
පසුගිය පෙබරවාරි අගභාගයේදී අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව යුද ප්‍රහාර දියත් කිරීමෙන් පසු, බොරතෙල්වලින් නිපදවන ගුවන් යානා ඉන්ධනෙ මිල සියයට 80කට වඩා වැඩි ගණනකින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
මෙම තත්ත්වය හමුවේ ලොව පුරා ගුවන් සේවාවන් තම ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ නැංවීමට හෝ ගුවන් ගමන් වාර සංඛ්‍යාව අවම කිරීමට පියවර ගෙන තිබේ.
සිරියම් (Cirium) නම් ගුවන් සේවා විශ්ලේෂණ ආයතනයට අනුව, මෙම අර්බුදය හේතුවෙන් සිදුව ඇති බලපෑම් කිහිපයක් පහත දැක්වේ.
ජූනි 1 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ ගුවන් ගමන් වාරවලින් ආසන මිලියන 9.3ක් කපා හැරීමට ගුවන් සමාගම් තීරණය කර ඇත.
අමෙරිකාව, චීනය, ජපානය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ බොහෝ රටවල් මෙම තීරණය ක්‍රියාත්මක කර ඇත.
ඉන්ධන පිරිවැය පියවා ගැනීම සඳහා මගී ගාස්තු සැලකිය යුතු ලෙස ඉහළ දමා තිබේ.
යුදමය වාතාවරණය සහ සමුද්‍ර සන්ධිය අවහිර වීම හේතුවෙන් සැපයුම් දාමයට එල්ල වී ඇති බාධා, ඉදිරි සංචාරක සමයේදී ගුවන් මගීන්ට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව සඳහන් වේ.








