දුම්රිය ටිකට්පත ඩිජිටල් වෙයි

දුම්රිය සේවා ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියට අදාළව දුම්රිය ටිකට්පත වෙනුවට ඩිජිටල් ට්කට්පතක් හඳුන්වා දීමේ නියමු ව්‍යාපෘතියක් කැලණිවැලි දුම්රිය මාර්ගයේ මැයි 1 දා සිට ක්‍රියාත්මක කර තිබේ. බේස්ලයින්, කොටා රෝඩ්, කිරුළපන හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන මූලික කර ගනිමින් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක අතර එම දුම්රිය ස්ථානයන්හි මෙතෙක් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ රෝස පැහැ දුම්රිය ප්‍රවේශපත භාවිතයෙන් ඉවත් කර තිබේ. ඒ වෙනුවට දුම්රිය මගීන් වෙනුවෙන් නිකුත් කෙරෙන්නේ කිව්. ආර්. කේතය සහිත රිසිට්පතකි.

දුම්රියපොළේ ස්ථාන කිහිපයක ස්කෑන් යන්ත්‍ර සවි කර ඇති අතර කිව්. ආර්. කේතය සහිත රිසිට්පත මිලදී ගත් පුද්ගලයන් එම ස්කෑන් යන්ත්‍ර හරහා කිව්. ආර්. කේතය ස්කෑන් කිරීමෙන් පසුව වේදිකාවට පැමිණෙන දුම්රියෙන් තමන්ට අදාළ ගමනාන්තය දක්වා ගමන් කරයි. මෙම ක්‍රමවේදය ඔස්සේ නිකුත් කෙරෙන ඩිජිටල් ටිකට්පත පරීක්ෂා කිරීමට අදාළ ස්කෑන් යන්ත්‍ර සෑම දුම්රිය ස්ථානයකටම යොමු කර ඇති අතර ප්‍රවේශපත් පරීක්ෂකවරුන්ට ද ඊට අදාළ උපකරණ ලබාදීමට පියවර ගෙන තිබේ. මෙම නියමු ව්‍යාපෘතිය මගින් මතුවන ගැටලු හඳුනාගෙන ඊට විසදුම් ලබා දෙමින් දුම්රිය සේවා ඩිජිටල්කරණය කඩිනම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පළමුව මෙම මාර්ගයේ සියලුම දුම්රිය ස්ථානවලටද, ඉන්පසු අනෙකුත් මාර්ගවලට ද මෙම පද්ධතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙයි.

මීට අමතරව දුම්රිය ප්‍රවේශපත්‍ර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (On line) වෙන් කරවා ගැනීමේ පහසුකම ද දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් මීට කලකට පෙර සිටම හඳුන්වා දී තිබුණි.