17 වන සියවසේ ඉන්දියාවේ ජායිපූර් රාජකීය එකතුවට අයත් වූ, අතේ රැගෙන යා හැකි තාරකා විද්‍යාත්මක පරිගණකයක් ලෙස සැලකෙන සුවිශේෂී ඇස්ට්‍රොලේබ් (Astrolabe) උපකරණයක් ලන්ඩනයේ Sotheby’s වෙන්දේසි ආයතනයේදී එළැඹෙන 29 වන දින වෙන්දේසි කිරීමට නියමිතය.
පිත්තලෙන් නිමවා ඇති මෙම උපකරණය ලොව දැනට පවතින විශාලතම ඇස්ට්‍රොලේබ් උපකරණය විය හැකි බවත්, එය මීට පෙර කිසි දිනක ප්‍රදර්ශනය කර නොමැති බවත් Sotheby’s ආයතනයේ ඉස්ලාමීය සහ ඉන්දියානු කලා අංශයේ ප්‍රධානී බෙනඩික්ට් කාටර් පවසයි.
මෙම උපකරණය ජායිපූර්හි දෙවන මහරාජා සවායි මාන්සිං සතු වූ අතර, ඔහුගේ අභාවයෙන් පසු එය එවකට ලොව වඩාත් ආකර්ෂණීය කාන්තාවක ලෙස සැලකුණු ඔහුගේ බිරිඳ වූ මහාරාණි ගයාත්‍රි දේවි වෙත හිමිව ඇති බව සඳහන් වේ.
පසුව ඇයගේ ජීවිත කාලය තුළදී මෙය පෞද්ගලික එකතු කරන්නෙකු අතට පත්ව ඇත.








