කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අදත් ක්‍රියාත්මකයි

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාව මේ වන විට යළි කොළඹට පැමිණෙමින් සිටින බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ජනතාවගේ අවශ්‍යතාව පරිදි විධිමත් සැලසුමකට අනුව අතිරේක බස් රථ ධාවනයට එක් කර ඇති බවත්, එම විශේෂ බස් රථ සේවාව ලබන 20 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කළේ.

මේ අතර, මගී ජනතාවගේ අඩුවීම නිසා අද (16) දිනයේ දිවයින පුරා සියයට 50 ක පමණ බස් රථ ප්‍රමාණයක් ධාවනයට එක් කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. 

දුර ගමන් සේවා ඇතුළුව බස් රථ 7,000 ක් පමණ ධාවනයට එක් කරන බවත්, සිකුරාදා වන විට බස් රථ සේවාව සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කරන බවත් එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළා.

අද (16) දිනයේ කාර්යාල දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ ප්‍රකාශ කර ඇත්තේ‍