කොළඹ ජල ඉල්ලුම අඩු වෙයි

යළි කාලසටහනකට අනුව ජල කප්පාදුවක් සිදුකරන්නේ නම් ලබන 19 වැනිදායින් පසු දැනුම්දෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

කෙසේ වෙතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවයි එහි ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමග ජල සම්පාදන මණ්ඩලය සතුව පවතින සීමිත ජල ධාරිතාව සැලකිල්ලට ගනිමින් කාණ්ඩ වශයෙන් ජල කප්පාදු කිරීම ආරම්භ කළේ, පසුගිය 02 වැනිදා සිටයි.

ඒ අනුව අදියර කිහිපයක් යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම, පාදුක්ක ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජලය කප්පාදු කෙරුණා.

කෙසේ වෙතත් උත්සව සමය සැළකිල්ලට ගනිමින් අප්‍රේල් 11 වැනිදා සිට එම කප්පාදුව අත්හිටුවීමටයි ජාතික ජල සම්පාදන මණ්ඩලය තීරණය කළේ.

සිංහල අලුත් අවුරුද්දට පෙර පැවති ජල ඉල්ලුම මේ වන විට පහත වැටී ඇත්තේ ජනතාව ගම් බ්ම් බලා යාම සහ ඇතැම් ආයතන අවුරුදු නිවාඩුව සඳහා වසා දැම්ම හේතුවෙන්.

කෙසේ වෙතත් උත්සව සමයෙන් පසු ජලය සැපයීම පිළිබඳ තීරණය පවතින තත්ත්වයන් සමාලෝචනය කිරීමෙන් පසු ප්‍රකාශයට පත් කිරීමටයි තීරණය කර ඇත්තේ.