වසර 34කට පසු ඊශ්‍රායල සහ ලෙබනන නායකයන් අතර අද සාකච්ඡා

ඊශ්‍රායල සහ ලෙබනන නායකයන් වසර 34කට පසු ප්‍රථම වතාවට අද (16) සාකච්ඡා පවත්වනු ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ජනපති ට්‍රම්ප් මෙම නිවේදනය නිකුත් කළේ, ඔහුගේ ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුම හරහායි.

“ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පවතින තත්ත්වය මදක් ලිහිල් කිරීමට උත්සාහ කරනවා. නායකයන් දෙපළ මෙලෙස කතාබස් කර බොහෝ කල් ගත වී තිබෙනවා, හරියටම වසර 34ක් වගේ. එය හෙට සිදු වේවි. ඉතා හොඳයි!” යනුවෙන් ඔහු එහි සටහන් කර තිබුණා.

මාර්තු 2 වැනිදා ටෙහෙරානයේ සහාය ලබන හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමග, ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය දියත් කළ යුද්ධයට ලෙබනනය ද ඇදී ගියා.

එතැන් සිට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් 2,000කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, මිලියනයකට අධික පිරිසක් අවතැන් වී තිබෙනවා.

එමෙන්ම ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයට ගොඩබිම් ප්‍රහාර ද එල්ල කර ඇත්තේ, වැඩි භූමි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට සහ ඔවුන් පවසන පරිදි “ආරක්ෂිත කලාපයක්” (buffer zone) නිර්මාණය කිරීමටයි.