පොදු රාජ්‍ය මණ්ඩලීය කරාටේ ශූරතාවලියේදී හා 8 වැනි දකුණු ආසියානු කරාටේ ශූරතාවලියේ රිදී සහ ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර පිරිනැමීමේ උත්සවයක් ඊයේ (11) පැවැත්විණි.
දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදී පැවති 11 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය කරාතේ ශූරතාවලියේදී රිදී පදක්කම් ජයග්‍රහණය කළ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ආර්.එම්.ටී.පී. සේනාරත්න සහ එම විදුහලේම ටී.එම්.ආර්. ඉරුගල්බණ්ඩාර (ලෝකඩ) සමඟ භූතානයේ පැවති 8 වැනි දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේදී රිදී පදක්කම් දිනූ අනුරාධපුර නිවත්තකචේතිය ජාතික පාසලේ ආර්. ඉදුවර දෙවිමිණ සහ අනුරාධපුර සාන්ත ජෝසප් විද්‍යාලයේ එම්. සදලු සතිෂ් බන්දුල මෙහිදී ඇගයීමට ලක් වූහ.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති මේ උත්සවයයේදී මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරු වූ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා නිලධාරී ඩබ්.එම්.ඒ. ප්‍රියන්ත විජේසිංහ මහතා මේ සඳහා කළ අපිරිමිත කැපකිරීම මෙහිදී ඇගයීමට ලක්විණි.
මේ අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසුරිය, පළාත් ප්‍රධාන ලේකම් වරුණ සමරදිවාකර, ආණ්ඩුකර ලේකම් හා පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විජය වනසිංහ, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක රුවන් විජේසිංහ පිරිසක් එක්ව සිටියහ.








