Mission Olympic යථාර්ථයක් කළ නිපුනි ශ්‍රී ලංකාවට

චීනයේ සාන්‍යා (Sanya) නුවර පැවැති 6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ කාන්තා කිලෝග්‍රෑම් 50 වෙරළ මල්ලවපොර ඉසව්වෙන් රන් පදක්කම දිනාගනිමින් ලක් මව රනින් සැරසූ අපේ දිරිය දියණිය, නිපුනි වාසනා ඊයේ(01) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියාය.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඇයව ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, එම අවස්ථාවට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ (NOCSL) නියෝජිතයින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් (Air Force Officers) ඇතුළු පිරිසක් සහභාගී වූහ.

වියට්නාම ක්‍රීඩිකාව සමඟ පැවැති තියුණු අවසන් මහා තරගය ජයගනිමින් නිපුනි ලබාගත් මෙම රන් පදක්කම, මෙරට ක්‍රීඩා ඉතිහාසයට එක්වූයේ විශාල අභිමානයක් එක් කරමිනි.

ඇයගේ මෙම ජයග්‍රහණය ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන “Mission Olympic” වැඩපිළිවෙළේ සාර්ථකත්වය මනාව විදහා දක්වන්නකි.