කීර්තිමත් හරිත තේ වර්ගයක් වන “ඩ්‍රැගන් වෙල්” (Dragon Well) යනුවෙන්ද හැඳින්වෙන ලොන්ජින් (Longjing)යනු චීනයේ හැංජෝ (Hangzhou) ප්‍රදේශයේ කඳුකරයේ වගා කරන, ලොව පුරා ඉතා ප්‍රසිද්ධ සහ ඉහළම ගෞරවයක් ලබන හරිත තේ වර්ගයකි.
මෙම තේ සඳහා වසරේ මුල්ම අස්වැන්න නෙළනු ලබන්නේ මාර්තු මැද සහ අප්‍රේල් මුල කාලය තුළ බව විදෙස් වාර්තාහි සඳහන් වෙයි.

මෙම කාලයේ නෙළන ළපටි තේ දළු “මින්ග්කියෑන්” (mingqian) ලෙස හඳුන්වයි.
මෙම මුල්ම අස්වැන්නෙන් ලබාගන්නා ඉතා ගුණාත්මක තේ ග්‍රෑම් 500ක් ඩොලර් 4,400 ක් චීන යුවාන් 30,000 ක් තරම් ඉහළ මිලකට අලෙවි වේ.
මීදුම් සහිත වැස්ස සහ මෘදු හිරු එළිය මෙම තේ දළුවල නියම රසය ලබා ගැනීමට උදවු වන නමුත්, දේශගුණික විපර්යාස නිසා වර්තමානය වන විට මෙම අස්වනු කාලය නිවැරදිව තීරණය කිරීම අපහසු වී ඇති බවද සඳහන් වෙයි.
මේ අතර සාම්ප්‍රදායික ක්‍රමයට අනුව, නෙළාගත් තේ දළු සෙල්සියස් අංශක 200 කට වඩා රත්කළ විශාල තාච්චිවල දමා අත් ආවරණ රහිතව, හිස් දෑතින්ම පෙරළමින් සකස් කරනු ලබයි.

මේ සඳහා දැන් බොහෝ දෙනා යන්ත්‍ර සූත්‍ර භාවිතා කළද, පදම් කරන පදම සහ තේවල නියම සුවඳ මෙන්ම රසය රැකගත හැක්කේ දෑතින්ම කරන සාම්ප්‍රදායික ක්‍රමයෙන් පමණක් බව ප්‍රවීණ තේ නිෂ්පාදකයෝ පවසා තිබේ.
කෙසේ වෙතත් මෙම ලොන්ජින් තේ සඳහා ඇති ඉහළ ඉල්ලුම නිසා වෙනත් ප්‍රදේශවල වගා කරන බාල තේ වර්ග මේ නමින් විකිණීමේ වංචා සිදු වේ.
මේ නිසා රජය විසින් නියමිත ප්‍රදේශයේ වගා කරන තේ සඳහා පමණක් QR කේත සහිත විශේෂ සහතික කිරීමේ ස්ටිකර් නිකුත් කරයි.
රසය සහ අනාගතය
ලොන්ජින් තේ වල රසය ඉතා මෘදු බවින් යුක්ත බව සඳහන් වෙයි.
එය අනෙක් තේ මෙන් ක්ෂණිකව තද රසක් නොදෙන අතර, සන්සුන්ව රස විඳින විට එහි ඇති සියුම් මල් සුවඳ සහ පැණිරස ගතිය දැනෙන්නට ගන්නා තේ වර්ගයකි.









