නිල්වලා ලවණ බාධකය නිසා සිදු වූ වගා හානිවලට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය

මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ හරහා ලවණ බාධකයක් ඉදිකිරීමේදී ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් වී වගාවට සිදු වූ හානි සඳහා වන්දි ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා අනුයාත කන්න 7කදී සිදු වූ වගා හානි සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් සිදු කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වන්දි ගෙවීමේ ක්‍රමවේදයට අනුව පිරිවැය සහ වී මිල සැලකිල්ලට ගනිමින් වන්දි මුදල් ගණනය කර තිබේ.

මෙම වන්දි ගෙවීම සඳහා 2026 අයවැය මඟින් රුපියල් මිලියන 1,200ක මුදලක් වෙන් කර ඇති අතර, සුදුසුකම් ලබා ඇති ගොවීන් වෙත අදාල වන්දි මුදල් ගෙවීමට නියමිතය.

අදාළ කන්නයන් සඳහා අක්කරයකට ගෙවීමට නියමිත වන්දි මුදල පහත පරිදි වේ.

  • 2019 යල – රුපියල් 40,000
  • 2019/20 මහ – රුපියල් 46,860
  • 2020 යල – රුපියල් 40,000
  • 2020/21 මහ – රුපියල් 42,150
  • 2021 යල – රුපියල් 49,901
  • 2021/22 මහ – රුපියල් 58,272
  • 2022 යල – රුපියල් 64,102

මෙම යෝජනාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.