ඉරානයට එල්ල කිරීමට තිබූ ප්‍රහාරයක් තාවකාලිකව නවතී

යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමක් සඳහා සාකච්ඡා කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීමේ අරමුණින් ඉරානය වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාරයක් තමා තාවකාලිකව නතර කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

එහිදී ට්‍රම්ප් කියා සිටියේ “හෙට දින ඉරානයට එල්ල කිරීමට නියමිතව තිබූ ප්‍රහාරය සිදු නොකරන බවට මම අමෙරිකානු හමුදාවට උපදෙස් දුන්නා. නමුත්, පිළිගත හැකි එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත්, ක්ෂණික දැනුම්දීමකින් ඉරානය වෙත පූර්ණ, මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානමින් සිටින ලෙස ඔවුන්ට වැඩිදුරටත් නියෝග කර තිබෙනවා,” යනුවෙනි.

හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා එකඟතාවයකට පැමිණීමේ දැඩි පීඩනයකට ලක්ව සිටින ට්‍රම්ප්, මීට පෙරද යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමක් ඉතා ආසන්න බවට බලාපොරොත්තු පළ කර තිබූ අතර, එකඟතාවයකට නොපැමිණියේ නම් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බවට මේ අයුරින්ම තර්ජනය කර තිබුණි.

ඔහුගේ සමාජ මාධ්‍ය සටහනට අනුව, කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයින් මෙම ප්‍රහාරය තාවකාලිකව නතර කරන ලෙස ඔහුගෙන් ඉල්ලා ඇත්තේ, අමෙරිකා එක්සත් ජනපදයට මෙන්ම මැදපෙරදිග සහ ඉන් ඔබ්බට ඇති සියලුම රටවලට බෙහෙවින් පිළිගත හැකි ගිවිසුමක් ඇති කරගනු ඇතැයි පවසමිනි. 

කෙසේ වෙතත්, සාකච්ඡා වෙමින් පවතින ගිවිසුමේ විස්තර ඔහු අනාවරණය කර නැත.