Apple සමාගමෙන් ගෙවන්න යන වන්දිය

Siri හඬ සහායකයා සඳහා කෘත්‍රිම බුද්ධි යාවත්කාලීන කිරීම් ලබා දීම ප්‍රමාද කිරීම හේතුවෙන් කොටස් හිමියන් විසින් පවරා තිබූ නඩුවක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 250 ක වන්දියක් ගෙවීමට Apple සමාගම එකඟ වී තිබේ.

2024 වසරේදී පීටර් ලෑන්ඩ්ෂෙෆ්ට් විසින් කැලිෆෝනියාවේ ෆෙඩරල් අධිකරණයක ගොනු කරන ලද මෙම නඩුවට පදනම් වූයේ, 2024 වාර්ෂික මෘදුකාංග සංවර්ධක සමුළුවේදී  ඇපල් සමාගම විසින් පොරොන්දු වූ AI විශේෂාංග එදිනම නිකුත් වූ නව “iPhone” දුරකථනනය සමඟ ලබා දීමට අපොහොසත් වීමයි.

සමාගම එම විශේෂාංග පිළිබඳව විශාල වශයෙන් ප්‍රචාරණ කටයුතු සිදු කළ ද, දුරකථන වෙළෙඳපොළට නිකුත් කරන අවස්ථාවේදී එම විශේෂාංග ඇතුළත් වී නොතිබුණි.

මෙම ප්‍රමාදය හේතුවෙන් තමන්ට හානියක් සිදු වූ බව පැමිණිලිකරුවන් වන කොටස් හිමියන් පෙන්වා දී තිබේ. පසුව 2025 වසරේදී ඇපල් සමාගම ප්‍රකාශ කළේ සිරි Siri හි AI නවීකරණය මෙම වසර වන තෙක් සිදු නොවන බවය. 

කෙසේ වෙතත්, ලබන මාසයේ පැවැත්වෙන වාර්ෂික සංවර්ධක සමුළුවේදී මෙම නව විශේෂාංග ප්‍රදර්ශනය කරන බව සමාගමේ විධායක නිලධාරීන් මේ වන විට තහවුරු කර ඇත.

මෙම බේරුම්කරණ එකඟතාවයේදී ඇපල් සමාගම තමන් අතින් වරදක් වූ බව පිළිගෙන නොමැති අතර, මෙම එකඟතාවය සඳහා තවමත් විනිසුරුවරයෙකුගේ අනුමැතිය අවශ්‍ය වේ.

නිවේදනයක් නිකුත් කරමින් ඇපල් සමාගම මෙසේ පවසා ඇත,

“අමතර විශේෂාංග දෙකක් ලබා දීමේ පමාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ හිමිකම් පෑම් විසඳා ගැනීමට ඇපල් සමාගම එකඟතාවකට පැමිණ තිබෙනවා. අප මෙම ගැටලුව විසඳා ගත්තේ අපගේ පරිශීලකයින්ට වඩාත් නව්‍ය නිෂ්පාදන සහ සේවා ලබා දීම කෙරෙහි නිරන්තර අවධානය යොමු කිරීම සඳහායි.”

2024 වසරේ ‘Apple Intelligence’ හඳුන්වා දුන් දා සිට තමන් තවත් බොහෝ AI විශේෂාංග රැසක් නිකුත් කර ඇති බව ද සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.