කටුනායක ගුවන්තොටුපළ පරිශයේදී මත්ද්‍රව්‍ය සමග හසුවූ චීවරධාරීන් සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
අද (27) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන වනු ඇති බවත් ඒ අනුව දුබලයාට එක් නීතියක් සහ ප්‍රබලයාට තවත් නීතියක් ක්‍රියාත්මක නොවනු ඇති බවය.
සිද්ධිය සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ සම්බන්ධව ඉදිරි පියවර ගැනීමටද බලාපොරොත්තු වන බවත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,
“සිද්ධිය සම්බන්ධව ගරුතර මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ඇතිව එක පැත්තකින් කටයුතු කරන අතරම නීත්‍යානුකූලව ගතයුතු පියවර අපි ඒ ආකාරයෙන්ම ගන්නවා. විශේෂයෙන් ඔබ දන්නවා අපි බලයට පත්වුණු දින සිට අපි මේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් ගැන හොයලා බලලා ඒ වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග ගන්නේ කෙනෙකුගේ තරාතිරම සොයා බලලා නෙමෙයි. නීතිය ඉදිරියේ සියලු දෙනාම සමානයි කියන එක අපි කවුරුත් දන්නවා. දුබලයාට එක නීතියකුත් ප්‍රබලයාට තව නීතියකුත් ක්‍රියාත්මක වෙන්න ඉඩක් නෑ. යම්කෙනෙක් නීතිවිරෝධීව කටයුතු කරනවානම් ඒ වෙනුවෙන් මැදිහත් වෙලා ඔවුන්ව නීතියේ රැහැනට හසුකරගන්න අවශ්‍ය පියවර ගන්නවා.
මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ අපි ජාතිකව දියත් කරලා තියෙනවා රට පුරාම මෙහෙයුම් සාර්ථකව දියත් වෙනවා. එහි එක් පියවරක් හැටියට තමයි මත්ද්‍රව්‍ය කිලෝ 110කට අධික ප්‍රමාණයක් කටුනායකදී අත්අඩංගුවට ගන්නවා ස්වාමීන් වහන්සේලා කිහිප නමක් ඇතුළුව. ඉතිං මේ පිළිබඳව විමර්ශනයක් සිද්ධ වෙමින් පවතිනවා. විමර්ශනය අනුව ඉදිරි කටයුතු සහ අවශ්‍ය පියවර ගන්නවා. අධිකරණයට කරුණු වාර්තා කරලා ඉදිරි පියවර ගන්නවා.”








