ටෙලිකොම්, එයාර් ලංකා ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 08 ක් විකිණීමේ තීරණය වත්මන් රජය ක්‍රියාත්මක නොකරන බවට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

ඉකුත් රජය සමයේ ශ්‍රී ලංකා ටෙලිකොම්, එයාර් ලංකා සමාගම, රක්ෂණ සමාගම සහ ලංකා හොස්පිටල් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 8 ක් විකිණීමට ගෙන තිබුණු තීරණය, වත්මන් රජය විසින් ක්‍රියාත්මක නොකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඉකුත් රජය සමයේ අදාල ආයතන විකිණීම අභියෝගයට ලක් කරමින් වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (02) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

අදාල පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ඉකුත් රජයේ අමාත්‍ය මණ්ඩලය සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කර තිබෙනවා.

ඉකුත් රජය සමයේ ගනු ලැබූ අදාල තීරණ ක්‍රියාත්මක නොකිරීමට වත්මන් රජය තීරණය කර ඇති බවත්, එම සමාගම් ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු සිදුකිරීම සඳහා පමණක් කමිටුවක් පත් කර ඇති බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය කරුණු දක්වමින් සඳහන් කර සිටියා.

අදාල රාජ්‍ය ආයතන විකිණීම සඳහා ගෙන තිබුණු තීරණය වත්මන් රජය ක්‍රියාත්මක නොකරන බව දැනුම්දීම නිසා, මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ කියා සිටියා.

ඒ අනුව, දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම් විභාගය අවසන් කිරීමට තීන්දු කරනු ලැබූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.