ආහාර සුරක්ෂිතතාව පාසල් විෂය නිර්දේශයට පමණක් සීමා නොවී, එය දරුවාගේ ආකල්ප සහ චර්යාවන්හි කොටසක් බවට පත් විය යුතු බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ප්‍රකාශ කළාය. ගාලුමුවදොර හෝටලයේදී ඊයේ (28) පැවති Òආහාර අංශයේ චක්‍රීය ආර්ථික ව්‍යාපෘතිය (2024 – 2027)Ó යටතේ දේශීය චක්‍රීය ආර්ථිකයක් ගොඩනැඟීම සහ ශක්තිමත් කිරීම සඳහා වන අධ්‍යාපනය පිළිබඳ ජාතික වැඩමුළුවේදී අගමැතිනිය මේ බව කියා සිටියාය.
යුරෝපීය සංගමයේ (European Union) මූල්‍ය දායකත්වයෙන්, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ Global Gateway වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මේ වැඩමුළුවේ ප්‍රධාන අරමුණු වූයේ, පාසල් අධ්‍යාපනයට චක්‍රීය ආර්ථික සංකල්ප ඇතුළත් කිරීමේ අභියෝග සහ අවස්ථා හඳුනාගැනීම, ප්‍රතිපත්ති සම්පාදකයන්, යෞවන හා නිපුණතා සංවර්ධන අංශ සහ විධිමත් අධ්‍යාපන පාර්ශ්වකරුවන් හරහා ප්‍රායෝගික ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම, 2027 වසර දක්වා මෙරට ආහාර ක්ෂේත්රයේ තිරසර චක්‍රීය ආර්ථික ක්‍රමවේද ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය අධ්‍යාපනික පදනම සැකසීමයි.
එහිදී අගමැතිනිය වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළාය.
අධ්‍යාපනය යනු හුදෙක් විභාග සමත් වී රැකියාවක් ලබා ගැනීම පමණක් නොවෙයි. සැබෑ අධ්‍යාපනය යනු පුද්ගලයා තුළ සමාජය සහ පරිසරය කෙරෙහි වගකීමක් මෙන්ම බැඳීමක් ඇති කිරීමයි. වර්තමානය වන විට අපට වඩාත් වැදගත් වන්නේ සම්පත් නැවත නැවත භාවිතයට ගන්නා වූ ‘චක්‍රීය ආර්ථික’ (Circular Economy) සංකල්පයයි.
මේ සංකල්පය අපේ පැරැන්නන්ට අමුතු දෙයක් නොවෙයි. මගේ මතකයට එන්නේ මගේ ආච්චි අම්මා. ඇය ආහාර අපතේ යෑම අවම කිරීමට දැක්වූයේ පුදුම දක්ෂතාවක්. අද අප ඉවත ලන පැෂන් ෆෘට් ලෙලිවලින් එදා ඇය රසවත් ජෑම් සහ චට්නි හැදුවා. කිරි බෝතල්වල ලෝහ පියන් පවා ඉවත නොදමා ඒවායින් නිෙවස හැඩ කරන විවිධ නිර්මාණ කළා. ‘කිසිවක් ඉවත නොදැමීම’ ඔවුන්ගේ ජීවන දර්ශනය වුණා.
අද කාන්තාව දැඩි කාර්යබහුලයි. රැකියාව සහ දරුවන්ගේ කටයුතු අතරතුර කාලය නැහැ. එළවළු හෝ ආහාර ස්වල්පයක් අපතේ යාම අද සාමාන්‍ය දෙයක් වී තිබෙනවා. මෙය හුදෙක් කාන්තාවගේ පමණක් වගකීමක් නොවිය යුතුයි. නිවෙසක් තුළ මේ වගකීම් සහ ශ්‍රමය සාමූහිකව බෙදාගත යුතුයි.Ó
ආහාර බෙදාගැනීමේදී තමන්ට අවශ්‍ය ප්‍රමාණය පමණක් ලබා ගැනීම, තමන්ගේ පිඟාන තමන්ම පිරිසුදු කරගැනීම සහ සම්පත් සුරැකීමට පෙලඹීම වැනි දෑ හුදෙක් පාඩම් නොව ජීවන රටා විය යුතුයි. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ලෙස පූර්ණ සහයෝගය ලබා දෙන බවත් අගමැතිනිය අවධාරණය කළාය.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් දූත පිරිසේ තානාපතිනි කාර්මන් මොරෙනෝ (H.E. Carmen Moreno), එම සංගමයේ සහයෝගිතා ප්‍රධානී ආචාර්ය ජොහාන් හෙසේ (Dr. Johann Hesse), FAO නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් (Vimlendra Sharan) මහත්ම මහත්මීන් ඇතුළු ජාතික අධ්‍යාපන ආයතනය (NIE) සහ රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන රැසක නියෝජිතයෝ පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න









