තම විවාහ මංගල්‍යයට යමින් සිටි 27 හැවිරිදි මනාලයෙකු නාඳුනන වෙඩික්කරුවන් පිරිසක් විසින් ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ දී ඊයේ (2) රාත්‍රියේ වෙඩිතබා ඝාතනය කර තිබේ.
ඛෙටසරයි පොලිස්බල ප්‍රදේශය අයත් බිබිපූර් ගම්මානය අසලදී ඊයේ ප.ව. 7ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇත.
බඩෝර් ගම්මානයේ පදිංචිකරුවෙකු වන අසාද් බින්ඩ් නම් තරුණයා, සිය මංගල පෙරහැර සමග ගමන්කරමින් සිටියදී මෙම අවාසනාවන්ත වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
මුහුණු ආවරණය කරගත් නාදුනන වෙඩික්කරුවන් පිරිසක් යතුරුපැදියකින් පැමිණ, මනාලයා ගිය මග හරස්කර මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇත.
එහිදී ප්‍රහාරකයින් වාහනය පසුපස හඹා ගොස් මනාලයා ඉලක්කකර වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලකර පලාගොස් තිබේ.
අනතුරුව මංගල පෙරහැරේ සිටි මනාලයාගේ ඥාතීන් ඔහුව රෝහලකට ඇතුළත්කර ඇති වුවත්, ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇත.
වෙඩික්කරුවන් සොයාගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති අතර, ඝාතනයට හේතුව තහවුරු කරගෙන නොමැත.
කෙසේ නමුත් මනාලියගේ ඥාතියෙකු සැකකරුවන් අතර සිටින බව පොලිසිය පවසයි.
ඔහු මෙම විවාහය සිදුකෙරෙනවාට අකමැත්තෙන් සිටි බවත්, පෙරහැර අතරතුරත් මනාලයාට පහරදී ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.








