ඉරානයේ අන්තර්ජාලය අත්හිටුවා අදට දින 64ක්

ඉරානය පුරා පනවා ඇති දැඩි අන්තර්ජාල සීමාකිරීම් අඛණ්ඩව 64 වන දිනටත් ක්‍රියාත්මක වන බව අන්තර්ජාල නිරීක්ෂණ ආයතනයක් වන ‘NetBlocks’ වාර්තා කරයි.

මේ හේතුවෙන් ඉරානය ජාත්‍යන්තර ජාලයන්ගෙන් වෙන්වී “සම්පූර්ණ හුදකලා” තත්ත්වයකට පත්ව ඇති බව එම ආයතනය පෙන්වා දෙයි.

පසුගිය ජනවාරි මස මුලදී එරට රජයට එරෙහිව යළිත් ඇවිළී ගිය මහජන විරෝධතා පාලනය කිරීම සඳහා බලධාරීන් ප්‍රථමයෙන් මෙම සීමාවන් පැනවූහ.

කෙසේ වෙතත්, පෙබරවාරි අග භාගයේදී ඉරානයට එරෙහිව අමෙරිකා-ඊශ්‍රායල යුද්ධය ආරම්භ වීමත් සමඟ අන්තර්ජාලය අවහිර කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් දැඩි කර ඇති බව වාර්තා වේ.

මාස දෙකකට අධික කාලයක් පවතින මෙම දැඩි අන්තර්ජාල බාධා කිරීම් හේතුවෙන් ඉරානයේ රැකියා සහ ව්‍යාපාරික ක්ෂේත්‍ර දැඩි අර්බුදයකට ලක්ව තිබේ. 

විශේෂයෙන්ම ඩිජිටල් තාක්ෂණය සහ අන්තර්ජාලය මත පදනම් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රැසක් මේ වන විට බිඳවැටීමේ තර්ජනයට මුහුණ දී ඇත.

තොරතුරු ගලායාම පාලනය කිරීමට රජය උත්සාහ කළද, මෙම දීර්ඝකාලීන අන්තර්ජාල බිඳවැටීම එරට ජනතාවගේ එදිනෙදා ජීවිතයට මෙන්ම ජාතික ආර්ථිකයටද දැඩි බලපෑමක් එල්ල කරමින් පවතී.