ආපදා තත්ත්වයෙන් විපතට පත් සියලු පාසල් දරුවන්ට ජනාධිපති අරමුදලින් රුපියල් 25,000ක දීමනාවක් ලබා දෙන්න පියවර ගෙන තිබෙන බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේදී ඊයේ (03) ප්‍රකාශ කළාය.
“විපතට පත් සියලු පාසල් දරුවන්ට ජනාධිපති අරමුදලින් රුපියල් 25,000 බැගින් ලබා දෙන්න පියවර ගෙන තිබෙනවා. අපි සමස්ත ලෝකයට ආදර්ශයක් ලබාදී තිබෙනවා. අපේ රටේ සියලු පවුල් මේ ව්‍යසනයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහාය ලබාදෙන්න කටයුතු කළා.
ජීවිත අහිමිවූ සියලු දෙනා වෙනුවෙන් අපි කනගාටු වෙනවා. අපි එකමුතුකමින් නැඟී සිටිය යුතු වෙනවා. අපි එකමුතුව මේ අභියෝගය ජයගත යුතු වෙනවා” යැයි ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය,
“විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය තමන්ගේ උපරිම දායකත්වය ලබාදී තිබෙනවා. එකමුතු වී එකට වැඩ කළ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සැමට මගේ ස්තුතිය පිරිනමනවා. මේ අභියෝගයට මුහුණදීමේ දී ජනතාව අතර තිබෙන එකමුතුකම, ධෛර්යය අපිට දකින්න ලැබුණා. ඒ නිසා අපිට මේ මෙහෙයුම ඉදිරියට ගෙන යෑමට විශාල ශක්තියක් වුණා.
ජනතාව මේ අනතුරින් මුදාගැනීමට කටයුතු කරන ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ හදිසි සහන කණ්ඩායම් වෙනුවෙන් මාගේ ආචාරය පිරිනමනවා. ඒ වගේම අන් අයගේ ජීවිත බේරාගන්න ගොස් තමන්ගේ ජීවිතය අහිමිවූ පිරිස් ඉන්නවා. ඒ සියලු දෙනාට අපේ ගෞරවය පිරිනමනවා.
ගුවන් හමුදාවේ නියමුවා, නාවික හමුදාවේ පස් දෙනාට අපේ ගෞරවය පිරිනමනවා. ඒ වීරත්වය අපිට අමතක නැහැ. අපේ රජය මේ අය වෙනුවෙන් පෙනී ඉන්නවා. රජයේ ආයතන විශාල ප්‍රමාණයක් මේ කාර්යයේ දී දායක වී තිබෙනවා. මේ සියලු දෙනාට මගේ ස්තුතිය පිරිනමනවා. ජනතාවගේ සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යන්න ඔවුන් කරන මෙහෙයුම අති විශිෂ්ටයි.
ඔවුන් දැඩි කැපවීමෙන් කටයුතු කරනවා. වෛද්‍යවරුන්, හෙද හෙදියන් වගේම අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ද අපේ ගෞරවය පිරිනමනවා. විපතට පත් ජනතාව වෙනුවෙන් ආගමික නායකයන් ඉදිරිපත් වී සහාය ලබාදෙනවා. කිසිදු ලාභ ප්‍රයෝජන නොතකා විපතට පත්වූවන් වෙනුවෙන් තම දායකත්වය ලබා දෙනවා.
රටක් විදිහට, ජාතියක් විදිහට අපි ඇති වටිනාම ශක්තිය මිනිස්කම වෙනවා. අනිත් අය වෙනුවෙන් තිබෙන සහකම්පනය ඉතාම වැදගත්. මේ අභියෝගාත්මක අවස්ථාවේ අපි සමඟ එක්වූ විදෙස් රටවල්, ජාත්‍යන්තර සංවිධාන අපිට සහාය ලබා දෙන්න ඉදිරිපත් වුණා. ඔවුන්ගේ සේවා සපයන්න, අපිට ඔවුන්ගේ සහන කණ්ඩායම් පැමිණියා. ඒ නිසා ඔවුන් අපි වෙනුවෙන් දක්වන ලද පරිත්‍යාගය අපි අගය කරනවා.
විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් ද ආධාර එකතු කරන්න කටයුතු කර තිබෙනවා. මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතතන වගකීම්සහගත තොරතුරු ඉදිරිපත් කරමින් ජනතාව දැනුම්වත් කරනවා. ජනතාවට ආරක්ෂාකාරී ලෙස මඟපෙන්වීම අතිශය වැදගත් වෙනවා.
ඇතැමුන් වාසියට නොයෙක් වැරදි තොරතුරු ප්‍රචාරය කරනවා. නමුත් නිවැරදි තොරතුරු බෙදාගැනීම වැදගත් වෙනවා. වගකීම්සහගතව සන්නිවේදනය කරන්න කියා ඉල්ලීමක් කරනවා. මේ හදිසි අවස්ථාවේ හැම අංශයක්ම සන්නිවේදනය කරමින් කටයුතු කරනවා.
අධ්‍යාපන ක්ෂේත්රයේ සියලු නිලධාරීන්ට මගේ ගෞරවය පුදකරනවා. විභාග දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලය ඉටුකරන කාර්යය අගය කරනවා. විභාග සම්බන්ධයෙන් හදිසි තීරණ ගන්න සිදුව තිබෙනවා. විභාග මධ්‍යස්ථාන සුරක්ෂිත කරමින් අඛණ්ඩව විභාග පවත්වාගෙන යන්න කටයුතු කර තිබෙනවා.
තලවකැලේ සුමන මහා විද්‍යාලයේ පවත්වාගෙන යන එක්රැස් කරන මධ්‍යස්ථානයේ ප්‍රධානියාගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනා මේ ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අවස්ථාවේ වුවද විභාග ප්‍රශ්න පත්‍රවල ආරක්ෂාව සහතික කරන්න ඔහු පියවර ගෙන තිබෙනවා.
විභාග කටයුතු බාධාවකින් තොරව පවත්වන්න කටයුතු කළ සැමට මම ස්තුතිවන්ත වෙනවා. උසස් අධ්‍යාපන අංශය, වෘත්තීය අධ්‍යාපන අංශයේ සියලු දෙනාට අපේ ගෞරවය පිරිනමනවා.”
ස්වර්ණා විජේකෝන්, මහින්ද අලුත්ගෙදර








