පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු වන ලලිත් කන්නන්ගර නමැත්තා ඩුබායිහීදී අත්අඩංගුවට ගෙන ඇතැයි නිල නොවන තොරතුරු අනාවරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් නිල තොරතුරු මෙතෙක් ලැබී නැති බවත්, නිල දැනුම්දීම් අපේක්ෂාවෙන් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.
බස් ලලිත් ලෙස ප්‍රචලිත ලලිත් කන්නන්ගර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරක් මෙතෙක් ලැබී නැති බවත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය මඟින් කරුණු සොයා බැලීමක් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. ලලිත් කන්නන්ගර නමැත්තාට ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදනයක් ද නිකුත් කර ඇති බව ඔහු පැවැසීය.
ලලිත් කන්නන්ගර නමැත්තා අවස්ථා තුනකදීම ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ කිසිදු අවස්ථාවක ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට ඉඩක් නොවීය. ඒ අත්අඩංගුවට ගැනීමෙන් දින කිහිපයකට පසු, ඔහු එරට පොලිස් අත්අඩංගුවෙන් ඒ සෑම අවස්ථාවක දී නිදහස් වී තිබීම හේතුවෙනි. ලලිත් කන්නන්ගර නමැත්තා ඩුබායි රැඳී සිටිමින් හංවැල්ල හා ඒ ආශ්‍රිතව මත්කුඩු ජාවාරම මෙහෙයවනවාට අමතර ව්‍යාපාරිකයන් බිය ගන්වමින් කප්පම් ලබාගන්නා බවට ද පොලීසියට තොරතුරු ලැබී තිබේ. ඔහුට කප්පම් නොදුන් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුම ඝාතනය ද වී තිබුණි.
රටින් පලාගොස් සිටින විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 40කට ආසන්න පිරිසකට මේ වනවිට ජාත්‍යන්තර පොලීසිය මගින් රතු වරෙන්තු නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. ඒ අතරින් පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් 18 දෙනෙක් මේ වසර තුළ පමණක් විදේශයන්වලදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ඇතැයි පොලිස් මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කෙළ්ය.
ඉන්දියාව, රුසියාව, ඩුබායි සහ ඕමාන් රටවල දී පාතාලයේ ප්‍රබල අපරාධකරුවන් 04 දෙනකු මෑතකාලයේ දී අත්අඩංගුවට ගෙන ඒම රටවල රඳවාගෙන සිටිති. ඔවුන් රතු නිවේදන නිකුත් කළ අය බව පොලීසිය සඳහන් කරයි.
‘පොඩි ලැසී, රොටඹ අමිල, වැලිඔය ප්‍රියන්ත, මිදිගම චූටි’ යන අපරාධකරුවෝ ඒ අතර සිටිති.
පොඩි ලැසී ඉන්දියාවේ මුම්බායිහිදී අත්අඩංගුවට ගන්නේ පසුගිය ජනවාරි මාසයේදීය. එරට ආගමන විගමන නීතිය යටතේ මේ වනවිට ඔහුට එරෙහිව නඩුවක් පවතින බැවින් ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට තවමත් නොහැකි වී ඇත. රුසියානු අත්අඩංගුවේ සිටින්නේ ‘රොටඹ අමිල’ය. ඔහු සම්බන්ධයෙන් ද එරට අධිකරණයේ නඩුවක් පවතින බව සඳහන්ය. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් මාර්තු මාසයේදීය.
‘මිදිගම චූටි’ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඕමානයේදීය. ‘වැලිඔය ප්‍රියන්ත’ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි හිදීය. මේ වනවිට ඔවුන්ව මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය මැදිහත්වීම් රාජ්‍යතාන්ත්‍රිකව සිදුවෙමින් පවතියි. මෙයට පෙර අවස්ථා ගණනාවකදීම ඩුබායි හා මැදපෙරදිග කලාපයේ රටවලදී අත්අඩංගුවට ගත් මෙරට පාතාලයේ අපරාධකරුවන් එම රටවවලින් නිදහස ලබා ඇත. ලලිත් කන්නන්ගරට අමතරව ‘ඇල්ටෝ ධර්මේ’ ද ඒ අතර සිටියි.
ප්‍රංශයේ දී ‘රත්මලානේ කුඩු අංජු’ අත්අඩංගුවට ගත්තද ඔහුව මෙරටට භාර දී නොතිබුණි. මේ වනවිට ඔහු එරට දේශපාලන රැකවරණය ලබා සිටියි.
‘කංජිපානි ඉම්රාන්’ සහ ‘රූබන්’ සිටින්නේ යැයි සඳහන් වන්නේ ප්‍රංශයේය. ඩුබායිහි කාලයක් රැඳී සිටි ප්‍රබල පාතාල අපරාධකරුවන් බොහෝ දෙනෙක් මේ වන විට එංගලන්තය, ප්‍රංශය, රුසියාව, ඉතාලිය, ඔස්ට්‍රියාව ආදී යුරෝපීය රටවලට සංක්‍රමණය වී ඇති බව සඳහන්ය. ‘රත්ගම විදුර, කොස්ගොඩ සුජී, කුඩු ලාල්, අන්නාසි මොරිල්, මොහොමඩ් සිද්ධික්’ වැනි මත්කුඩු ජාවාරමේ නිරත ප්‍රබල පාතාල අපරාධකරුවන් රැසක්ම මේ වනවිට සිටින්නේ යුරෝපීය රටවලය. මේ අය හැරුණුකොට වසර කිහිපයකට පෙර ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ‘කිඹුලා ඇළේ ගුණා, සුරේෂ්, පූකුඩිකන්නා, කොට ගාමිණී, බුම්මා’ ඇතුළු අපරාධකරුවෝ 15ක් පමණ ඉන්දියානු ආරක්ෂක අංශ භාරයේ සිටිති.