මානුෂිය ආධාර නොලැබුනහොත්, ගාසාවල දරුවන් 14,000ක් මිය යා හැකි බවට අනතුරු ඇඟවීමක්

මානුෂීය ආධාර රැගත් ලොරි රථ 93 ක් ඊයේ (20) ගාසා තීරයට ඇතුළු වූ බවට ඊශ්‍රායල නිලධාරීන් සඳහන් කර ඇති නමුත්, මේ දක්වා කිසිදු ආධාරයක් බෙදා හැර නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරනවා.

මේ වන විටත් ගාසා තීරය තුළ සාගතයක් සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇති අතර, ගාසා තීරයට තාවකාලිකව ආහාර ප්‍රමාණයක් යොමු කිරීමට ඊශ්‍රායලය පසුගියදා එකඟතාව පළකර තිබුණා.

මේ අතර ඉදිරි පැය 48 තුළදී ළදරු ආහාර සහ පෝෂණීය ආහාර ගාසා තීරයේ වෙසෙන දරුවන් වෙත ළඟා නොවුණහොත්, දරුවන් 14,000කට අධික පිරිසක් මිය යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මානුෂීය ක්‍රියාකාරකම් ප්‍රධානී Tom Fletcher පවසනවා.

ගාසාහි වෙසෙන දරුවන් සහ පලස්තීන වැසියන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා මානුෂීය ආධාර විශාල ප්‍රමාණයක් අවශ්‍ය වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ මානුෂීය ක්‍රියාකාරකම් ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ.