අමෙරිකානු ජනපතිගේ චීන සංචාරය අවසන්

තෙදින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා‍ සිය සංචාරය අවසන් කරමින් අද (15) පස්වරුවේ බෙයිජිං නගරයෙන් පිටව ගියේය.

ඊට පෙර බෙයිජිං නුවර Zhongnanhai හිදී චීන-අමෙරිකානු නායකයින් තවත් කෙළි පිළිසඳරකට ද එක් විය. 

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙවර සංචාරය ඓතිහාසික හා සන්ධිස්ථානීය සංචාරයක් බවත්, දෙපාර්ශ්වයම එක්ව චීන-අමෙරිකානු සංවර්ධනාත්මක උපායමාර්ගික ස්ථාවර සබඳතා සඳහා එහිදී නව ස්ථානගත කිරීමක් නිර්වචනය කර ඇති බවත් ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. 

ස්ථාවර ආර්ථික හා වෙළෙඳ සබඳතා පවත්වා ගැනීම, විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රායෝගික සහයෝගීතා පුළුල් කිරීම සහ එකිනෙකා සැලකිලිමත් විය යුතු ගැටලු නිසි ලෙස විසඳීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම වැදගත් එකඟතාවකට පැමිණි බව ද ඔහු පැවසීය. 

එමෙන්ම, ජාත්‍යන්තර හා කලාපීය කරුණු සම්බන්ධයෙන් සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම කැමැත්ත පළ බවත් හෙතෙම සඳහන් කළේය. 

මෙම සංචාරය අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනයට, අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කිරීමට සහ දෙරට ජනතාවගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇතැයි ෂී ජින් පිං මහතා වැඩිදුරටත් පැවසීය.

තම චීන සංචාරය ඉතා සාර්ථක, ලෝක ප්‍රසිද්ධ සහ අමතක නොවන එකක් බව ට්‍රම්ප් මහතා මෙහිදී සඳහන් කළේය. 

සිය සංචාරය තුළ දෙපාර්ශ්වය වැදගත් එකඟතා මාලාවකට සහ ගිවිසුම් ගණනාවකට එළඹුණු බවත්, බොහෝ ගැටලු ඒ ඔස්සේ විසඳා ගත් බවත් එය දෙරටටම සහ ලෝකයටම මහත් ප්‍රතිලාභයක් බවත් ඔහු පැවසීය. 

එමෙන්ම ෂී ජින් පිං මහතා තම පැරණි මිතුරෙකු බව පැවසූ ට්‍රම්ප් මහතා, තමා එතුමන්ට බෙහෙවින් ගරු කරන බවත්, දෙදෙනා අතර යහපත් සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඇති බවත් පැවසීය. 

තවද, අමෙරිකානු-චීන සබඳතා ඉතා වැදගත් බවත් එය නිසැකවම යහපත් අතට හැරෙනු ඇති බවත් පෙන්වා ජනපති ට්‍රම්ප්, ෂී ජින් පිං මහතා සමග අවංක හා ගැඹුරු සන්නිවේදනයක් අඛණ්ඩව පවත්වා ගැනීමට කැමැත්තෙන් සිටින බවත්, වොෂින්ටන්හිදී එතුමා පිළිගැනීමට බලාපොරොත්තු වන බවත් එහිදී වැඩිදුරටත් පැවසීය.