ඇෆ්ගනිස්ථානයේ රික්ටර් මාපක 5.9ක ප්‍රබල භූමිකම්පාවක්: අටක් මරුට

ඇෆ්ගනිස්ථානයේ සිදුවූ භූමිකම්පාවකින් පසු කාබුල් අගනුවර නිවසක් කඩා වැටීමෙන් පුද්ගලයන් අට දෙනෙකු මියගොස්, එක් දරුවෙකු තුවාල ලබා ඇති බව ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා.

ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) සඳහන් කළේ, රික්ටර් මාපක 5.9ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව ඊයේ (03) ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ හටගත් බවයි.

මෙම භූමිකම්පාව කිලෝමීටර් 177ක් (සැතපුම් 110 ක්) ගැඹුරින් සිදුව ඇති බවයි GFZ ආයතනය වැඩිදුරටත් පවසා ඇත්තේ.

පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර, ඇෆ්ගනිස්ථානයේ කාබුල් සහ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට ද මෙහි ප්‍රබල කම්පන දැනී ඇති බවයි රොයිටර් පුවත් සේවයේ සඳහන් කරන්නේ.

කඳු පන්තීන්ගෙන් වටවී ඇති ඇෆ්ගනිස්ථානය ස්වභාවික ආපදා රැසකට ගොදුරු වීමේ ප්‍රවණතාවක් පවතින රටක්.

එහි සිදුවන භූමිකම්පා වඩාත් මාරාන්තික වන අතර, සාමාන්‍යයෙන් සෑම වසරකම පුද්ගලයන් 500කට අධික පිරිසක් ඉන් ජීවිතක්ෂයට පත්වන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

පසුගිය නොවැම්බර් මාසයේදී එරට සිදුවූ රික්ටර් මාපක 6.3ක ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයන් 27 දෙනෙකු මියගොස් නිවාස සිය ගණනක් විනාශ වුණා.