රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (02) සිට ක්‍රියාත්මක කරන බව සඳහන් වෘත්තීය ක්‍රියාමාර්ගයට රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ කිසිදු සහභාගිත්වයක් නොමැති බව රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා අවධාරණය කරයි.
ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය. “අද (02) පැවැත්වීමට නියමිත වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ කිසිදු සහභාගීත්වයක් නෑ. මේ ගෙන යන වෘත්තීය අරගලයට පාදක වූ හේතුවක් තමයි විශේෂඥ වෛද්‍යවරුන් වෙනුවෙන් සැලසුම් කර තිබෙන සේවා ව්‍යවස්ථාව. එයට විරුද්ධවයි මෙය සිදු වන්නේ.
අද ඉන්න විශේෂඥ වෛද්‍යවරුන් 2300කින් 2060කට ආසන්න ප්‍රමාණයක් සේවා ව්‍යවස්ථාවක් හදන්න කියලා ලිඛිතව අත්සන් කර සංදේශයක් රජයට භාර දුන්නා. ඒ නිසා ඒකට විරුද්ධව ගෙන යන ව්‍යාපාරයකට මේ කිසිදු විශේෂඥ වෛද්‍යවරයෙක් සහභාගී වෙන්නේ නෑ. මේ රටේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් බහුතරය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයන්.
ජනාධිපතිවරයාගෙන් මේ පිළිබඳව අපි ඉල්ලීමක් කළා. ඒකට යහපත් ප්‍රතිචාරයක් රජය පැත්තෙන් ලැබී තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරුන් මෙතෙක් කළ සියලුම සේවා සහ කාර්යයන් ඒ විදියටම අදත් කරගෙන යනවා. ඒවායේ කිසිම වෙනසක් වෙලා නෑ.”
රක්ෂණ ශ්‍රියන්ත








