ඉන්දියාවේ සිට වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය නිවේදනය කරයි.
ලබන (04) දින ඉන්දියාවේ සිට වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා පෙබරවාරි (05) වන දින උදෑසන 06. 00 සිට පෙබරවාරි 11 වන දින පෙරවරු 07. 00 දක්වා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
එම කාළ සිමාව තුළ ගංගාරාම විහාරස්ථානය අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි
ප්‍රදර්ශන කාලසීමාව තුළ ජිනරතන මාවත, හුණුපිටිය වැව පාර හන්දිය, ලේක් ක්‍රසන්ට් හන්දිය සහ පාර්ක් වීදිය දෙසින් විහාරස්ථානයට ඇතුළු වන මාර්ග ඇතුළු ස්ථාන කිහිපයක් වසා තැබෙන බව පොලිසිය පවසයි.
මීට අමතරව උත්තරානන්ද මාවත, නවම් මාවත සහ පීරිස් මාවත ඇතුළු මාර්ග කිහිපයක බර වාහන ගමනාගමනය සීමා කර තිබෙයි
සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ රථවාහන ගාල් කිරීම සඳහාද රථගාල් කිහිපයක් නම්කර ඇති අතර, ඒ අනුව, නොමිලේ රථවාහන ගාල් කළ හැකි ස්ථාන ලෙස පෝර්ට් සිටි, ෂැංග්‍රිලා හෝටලය අසල භූමිය, පැරණි MOD භූමිය, ග්‍රීන් පාත් සහ විහාරමහාදේවී උද්‍යානය අසල රථගාල් නම් කර තිබෙයි
ගාස්තු අය කරන රථගාල් ලෙස ගාමිණී වටරවුම අසල පෞද්ගලික රථගාල, ලේක්හවුස් ඉදිරිපිට සහ පැරණි මැනිං වෙළඳපොල භූමියද වෙන් කර ඇති බව පොලිසිය සඳහන් කරයි
ඒ අනුව පැමිණෙන සියළුම මහජනතාව වෙත කිසිදු අවහිරතාවයකින් තොරව සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා පහත සඳහන් උපදෙස් අනුගමනය කරන මෙන් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි
ජංගම දුරකථන, ගමන් මළු, ජැකට් සහ විද්‍යුත් උපකරණ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන කුටිය තුළට රැගෙන යාම තහනම් වන අතර, විශාල පිරිසක් පැමිණෙන බැවින් ගැටකපන්නන් සහ සොරුන්ගෙන් ප්‍රවේශම් වන ලෙසත්, තම මුදල් පසුම්බි හා රන් ආභරණ පිළිබඳ විමසිලිමත් වන ලෙසත් දැනුම් දෙයි








