පෞද්ගලික අපේක්ෂාවෙන් තොරව සියලු ජනතාවට පොදු අරමුණක් වෙනුවෙන් එකතු වීමට හැකි නම් රටක් පහසුවෙන් ගොඩනැඟිය හැකි බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පවසති.
‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙතෙක් නොදුටු නුපුරුදු ව්‍යසනයක අත්දැකීම් ලබන්නට ලක්වාසි ජනතාවට සිදුවූ බවත් මෙම විපත්තිදායක අවස්ථාවේ යළි නැඟීසිටීම සඳහා වන අධිෂ්ඨානයෙන් යුතුව සියලු දෙනා නව වසර ආරම්භ කළ යුතු බවත් උන්වහන්සේ කීහ. නව වසර වෙනුවෙන් සුභාසිංසන එක් කරමින් දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ මෙසේද පැවැසූහ. පසුගිය වසර ගෙවී යන්නට සති පහක් වැනි කෙටි කාලයක් තිබිය දී මහා ව්‍යසනයක් රටේ ඇති වුණා. ජීවිත නැති වුණා. දේපොළ විනාශ වුණා. මහාමාර්ග, දුම්රිය මාර්ගවලට විශාල අලාභහානි සිදු වුණා. විදුලිය, ජලය නොමැතිව ජනතාව පීඩා වින්දා. ආහාර හිඟ වුණා. මෙය අපට පමණක් උරුම වූ දෙයක් නෙවෙයි. ලෝකයේ බොහෝ රටවල් මේ ආකාර ස්වාභාවික ව්‍යසනවලින් පීඩා විඳිනවා. හිරෝෂිමා නාගසාකිවලට පරමාණු බෝම්බ හෙළීම නිසා ඇතිවූ ව්‍යසනයෙන් පසු ජපානය යළි ලෝකයේ බලවත් ලෙස නැඟීසිටියා. නොයෙක් අවස්ථාවල ඔවුන් භූමිකම්පාවලින් පීඩා විඳිනවා. ඒ කිසිවකින් ඔවුන්ගේ ධෛර්යය යටපත් වුණේ නැහැ. වැටුණු සෑම අවස්ථාවකම ජපන් ජාතිකයින් යළි පෙරට වඩා ශක්තිමත්ව නැඟීසිටියා.








