කොළඹ මහනගර සභාවේ සිදුව ඇතැයි පැවසෙන දූෂණ, අක්‍රමිකතා විමර්ශනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කොමිෂන් සභාවක් පත්කර තිබේ.
හිටපු මහාධිකරණ විනිසුරු, නීතිඥ පියසේන රණසිංහ, ගණකාධිකාරි ඊ.ආර්.එම්.එස්.එච්. ඒකනායක, විශ්‍රාමික පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ මහත්වරු මේ කොමිෂන් සභාවේ සාමාජිකයෝ වෙති.
පියසේන රණසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයෙක් ද වේ. ඩී.එස්. වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොලීසියේ පොලිස් නිලධාරීන්ගේ දූෂණ අක්‍රමිකතා විමර්ශන පැවැත්වීමට ස්ථාපිත කර ඇති විශේෂ විමර්ශන ඒකකයේ අධ්යක්ෂ ලෙස සේවයේ නිරතව සිටි නිලධාරියෙකි.
මෙම නිලධාරීන් පත්කරමින් ජනාධිපති කොමිෂන් සභාව පිහිටුවීම සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් යුතුව පෙරේදා (30) නිකුත් කර තිබේ.
2010 සිට 2025 දක්වා කාලයේදී කොළඹ මහනගර සභාවේ සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා, සාපරාධි ලෙස විශ්වාසය කඩ කිරීම්, දේපොළ සාපරාධි පරිහරණය, නීත්‍යනුකූල නොවන බඳවා ගැනීම් හා පත්කිරීම්, නීතිවිරෝධී සැලසුම්, ප්‍රසම්පාදන, මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම්, නිශ්චල හෝ චංචල දේපොළ කුලියට හෝ බද්දට දීමේදී සිදුව ඇති අක්‍රමිකතා, නිලධාරීන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීම මේ කොමිෂන් සභාවට පවරා ඇත.
එකී කාර්යය සිදු කරගෙන යාමේ දී ඉහත කාල සීමාවෙන් ආවරණය නොවන හෝ ඉහත සඳහන් ක්‍රියාවලට පරිබාහිර එහෙත් පරීක්ෂණ කොමිෂන් සභාවට බරපතළ ස්වභාවයේ බවට හැඟී යන වරදක් හෝ වැරදි සම්බන්ධයෙන් මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම හා ලබා ගැනීමට ද කොමිසමට අවස්ථාව හිමි වේ.
තවද, පෙර කී කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය යැයි පෙනී යා හැකි සාපරාධී හා වෝහාරික විමර්ශන පැවැත්වීමට හෝ බලපැවැත්වීමට සලස්වාලීමට සහ සියලුම ප්‍රසිද්ධ සහ රහස්‍යය විමර්ශන හෝ පරීක්ෂණ කිරීමට ද බලය හා අධිකාරය පැවරීමට මෙම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.
මෙම ගැසට් නිවේදනය නිකුත් කර තෙමසක් ඇතුළත පළමු වැනි අතුරු වාර්තාව ද ඊට අනතුරුව මසකට වරක් අතුරු වාර්තා ද පෙරේදා (30) සිට මාස 06ක් ඇතුළත ලබා දිය යුතු බවටත් විමර්ශනයන්හි නිගමන හා නිර්දේශ ඉදිරිපත් කරන ලෙසටත් ගැසට් නිවේදනයේ සඳහන් වේ.








