හිටපු ඛනිජතෙල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබුණු නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජනවාරි මස 08 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, නඩුවට අදාළව ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිට තිබුණා.
දෙපාර්ශවයේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජනවාරි මස 08 වැනිදා කැඳවන ලෙස නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.
2014 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා සහ ජනවාරි මස 26 වැනිදා අතර කාලසීමාව තුළ ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් 6,146,110/- ක මුදලක් අනීතික ලෙස වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින්, නීතිපතිවරයා විසින් එවක ඛනිජ තෙල් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව චෝදනා 05 ක් යටතේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.








