පානදුර මුහුදු වෙරළේ දිය නෑමට ගිය කැලණිය විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු රළ පහරකට හසුව අතුරුදන්ව ඇති බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසනවා.
මෙසේ අතුරුදන්ව ඇත්තේ බුත්තල, යුදඟනාව ප්‍රදේශයේ පදිංචිව සිටි, කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ අංශයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන රුවන් යාපා නමැති සිසුවෙක්.
අතුරුදන් වූ සිසුවා ඊයේ (02) පස්වරුවේ සිය ඥාති පවුලක සාමාජිකයන් පස් දෙනෙකු සමඟ පානදුර මුහුදු වෙරළට පැමිණ තිබූ බව පොලිසිය පවසනවා.
අනතුරුව ඔහු සිය ඥාති සොහොයුරෙකු ද සමඟ මුහුදේ දිය නාමින් සිටියදී එක්වරම පැමිණි ප්‍රබල රළ පහරකට හසුව නොපෙනී ගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
සිද්ධිය වූ මොහොතේ සිටම අතුරුදන් වූ සිසුවා සෙවීමේ කටයුතු ආරම්භ වූ අතර, අද උදෑසන වන විටත් පොලිස් සහ නාවික හමුදා ජීවිත ආරක්ෂක නිලධාරීන් එක්ව පානදුර මුහුදේ විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු දක්නට ලැබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.








