ජනපති වරප්‍රසාද කපන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

වර්ෂ 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අවලංගු කිරීමට සහ හිටපු ජනාධිපතිවරුන්ට, ඔවුන්ගේ වැන්දඹුවන්ට සහ විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති විශේෂ ප්‍රතිලාභ අහෝසි කිරීමට සකස් කරන ලද ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (07 දා) ඉදිරිපත් කළේය.

මෙහිදී අදාළ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කළ දින සිට දින 07ක් සම්පූර්ණ වී නොමැති බැවින් මෙම පනත් කෙටුම්පත වෙනත් දිනයක ඉදිරිපත් කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු නීතිමය කරුණු පෙන්වමින් ප්‍රකාශ කළහ.

කෙසේ වෙතත් මෙම පනත් කෙටුම්පත් නීත්‍යනුකූලව ඉදිරිපත් කර ඇති බව ඊට ප්‍රතිචාර දක්වමින් සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරු කරුණු පැහැදිලි කරමින් පෙන්වා දුන්හ.

එහිදී ඇතිවූ විවාදය අවස්ථාවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසුවේ,

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 71 (1) අනුව සෑම පනත් කෙටුම්පතක්ම පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට යටත් පිරිසෙන් දවස් 07කට පෙර ගැසට් පත්‍රයේ පළ කළ යුතු බවයි. ඒ වගේම පෙන්වා දෙන්න කැමතියි 52 (5) ස්ථාවර නියෝගය. පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළවූ දින සිට දින 07ක කාලයක් ඉකුත් වීමෙන් අනතුරුව කවර හෝ වේලාවක ඉහත 2 ජේදයේ දක්වා ඇති යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතු බව. මේකෙන් බොහොම පැහැදිලියි 31 වැනිදා මේක ගැසට් පත්‍රයට ඇතුළත් කරන්නේ.

සාමාන්‍යයෙන් 31 අපි ගණන් ගන්නේ නෑ. ඒ අනුව 01 වැනිදා සිට 07 වැනිදා ඒ කියන්නේ අද තමයි 07 වැනි දවස. ඉකුත් වෙලා නෑ. අද රෑ 12.00ට තමයි මේ දින 07 ඇතුළත් වෙන්නේ. මේක හෙට තමයි ඉදිරිපත් කරන්න වෙන්නේ. හෙට ඉදිරිපත් කරන්න බෑ නිවාඩු දිනයක් නිසා. මම ඉල්ලීමක් කරනවා දින 07 ඉකුත් වෙලා නැති නිසා වෙනත් පාර්ලිමේන්තුව රැස්වෙන දිනයක ගේන්න කියලා. දවසක් එහාට ගියා කියලා අපිට ප්‍රශ්නයක් නෑ. කරන එක හරියට කරන්න. මේක ගේන එකට අපේ විරෝධයක් නෑ“ යැයි ද කීවේය.

එහිදී අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා කියා සිටියේ,

“ඔය 78 (1) කියවන්නේ නැතිවම මෙතනට ආවා නෙවෙයි. ඒකේ තිබෙන දින 07 ගැන අවබෝධයක් තිබුණා. මේක ගැසට් පත්‍රයේ පළ වෙන්නේ 31 වැනිදා. ප්‍රින්ට් කරන්නේ 30 මධ්‍යම රාත්‍රියේ. 31 වැනිදා ගණන් කරන්නේ නෑ කියලා තර්කයක් ගෙනාවා. ඇයි ඒ? ඒකට හේතුවක් නෑ. ගණන් කරන්න වෙන්නේ 31 වැනිදා සිට තමයි. 31 සිට ගණන් කළාම දවස් 07 සම්පූර්ණ වෙනවා 06 වැනිදාට. ඒ නිසා මේක හරි පටිපාටිය අනුව ගෙනත් තිබෙන්නේ. ඒ අනුව මේ විරෝධතාව ගණන් ගත යුතු පදනමක් ඇති එකක් නෙවෙයි. මේක අද ඉදිරිපත් කිරීමට කිසිදු නෛතික බාධාවක් නැහැ“ යනුවෙනි.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා,

“අපි මුද්‍රණාලයෙන් සොයා බැලුවා. මෙම ගැසට් පත්‍රය මුද්‍රණය කර තිබෙන්නේ ජූලි 30 රාත්‍රී 12.00ට පෙර. මේක 31 අලුයම 12.01 සිට මේ ගැසට් පත්‍රය පළවූ එකක්. ඒක තමයි ගැසට් පත්‍ර සම්බන්ධයෙන් තිබෙන පොදු නියාමනය. අගෝස්තු 06 මේක සම්පූර්ණයි. අගෝස්තු 07 වැනිදා කියන්නේ අටවැනි දවස. ඒ අනුව මෙය ඉදිරිපත් කරලා ඉදිරියට යන්න කියලා ඉල්ලනවා යැයි කීවේය.