නීත්‍යනුකූල රාජ්‍යයට යටින් තිබෙන අපරාධ රාජ්‍යය අවසන් කරනවා-මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂයේ දී ජනපති කියයි

නීත්‍යනුකූල රාජ්‍යයට යටින් තිබෙන අපරාධ රාජ්‍යය ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් අවසන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

අපරාධ කල්ලි කිහිපයක් එකම අවස්ථාවක ක්‍රියාත්මක වීම කුමන්ත්‍රණයක්දැයි සැකසහිත බව පෙන්වාදෙන ඒ මහතා නැවත රට තුළ ජාතිවාදයට හෝ අන්තවාදයට හිස එසවීමට කිසිදු ඉඩක් නොමැති බව ද වත්මන් රජය අශිෂ්ටත්වයේ යුගය අවසන් කර, ශිෂ්ටත්වයේ මාර්ගය සකස් කර තිබෙන බවද පෙන්වාදෙයි.

ඉතිහාසයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූයේ ජාතිවාදය සහ අන්තවාදය බවත්, ශ්‍රී ලංකාව තුළ නැවත ජාතිවාදයට හෝ අන්තවාදයට හිස එසවීමට වත්මන් ආණ්ඩුව ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි. නව නීති රාමුවක් හරහා ත්‍රස්වාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට රජය සූදානම් බව ද ඒ මහතා කියා සිටියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ ආරක්ෂක ඇමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ දී 2025 අය-වැය විවාදයේ කාරක සභා අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය වැය ශීර්ෂය පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව සිදු කරමිනි.

ආර්ථික අර්බුදයක් හෝ රට තුළ ආරක්ෂාව නැති බවට චිත්‍රයක් මවා හෝ මහජන කැලඹීමක් ඇති කර හෝ ආණ්ඩුව බිඳ දැමීමේ විපක්ෂයේ සිහිනයට කිසිදා ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

වත්මන් රජය අශිෂ්ටත්වයේ යුගය අවසන් කර, ශිෂ්ටත්වයේ මාර්ගය සකස් කර ඇති බවත්, හැකිනම් වත්මන් රජයේ ශිෂ්ටත්වය අබිබවා යන ලෙසත් ජනාධිපතිවරයා විපක්ෂයට අභියෝග කළේය. එසේ නොමැතිව පැරණි දේශපාලනයේ සිටීමෙන් දේශපාලන ෆොසිල බවට පත්වීම වැළැක්විය නොහැකි බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

යටිබිම්ගත අපරාධ රාජ්‍යයේ අපරාධ කල්ලිවලට වත්මන් ආණ්ඩුවේ කිසිදු මන්ත්‍රීවරයකුගෙන් ආශීර්වාදයක් නොලැබෙන බව ද ජනාධිපතිවරයා පැවසීය. ශ්‍රී ලංකා හමුදාව සහ පොලීසිය වෘත්තීමයභාවයක් ඇති හමුදාවක් සහ පොලීසියක් බවට පත් කරන බව පැවසූ ජනාධිපතිවරයා ආරක්ෂක අංශයේ කිසිදු පත්වීමක් හෝ ස්ථාන මාරුවක් හිතවත්කම් මත හෝ දේශපාලනිකව සිදු කර නොමැති බව ද සඳහන් කළේය.

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට සේවා දිගු 7ක් ලබා දී ඇති බවත්, හිතවතුන්ට හෝ මිතුරන්ට ලබාදෙන පත්වීම් සමඟ අලුත් ගමනක් යා නොහැකි බැවින් නව පත්වීම් සිදුකර තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය. පුද්ගලයාට පක්ෂපාතී හමුදාවක් වෙනුවට රාජ්‍යයට පක්ෂපාතී හමුදාවක් නිර්මාණය කිරීමටත් එම හමුදාවේ වෘත්තිමයභාවය වැඩිදියුණු කිරීමටත් වත්මන් රජය කටයුතු කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

කාලයේ වැලිතලාවෙන් යට වී තිබෙන අපරාධවලට යුක්තිය සහ සාධාරණය ඉටුකිරීමට වත්මන් රජය කටයුතු කරන බවත්, ඒ සඳහා ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් ජනාධිපතිවරයා පැවසීය.

ආරක්ෂක ක්ෂේත්‍රයේ ව්‍යුහයේ විශ්වාසය මත ශිෂ්ටත්වය ගොඩනැඟෙන බව ද සඳහන් කළ ජනාධිපතිවරයා අශිෂ්ටත්වයේ පතුලටම ගොස් තිබෙන මෙම රාජ්‍යය නැවත ශිෂ්ටත්වය කරා ගෙන යෑමට වත්මන් රජය කටයුතු කරන බව ද සඳහන් කළේය.

ආර්ථික අර්බුදයක් ඇතිකර, බලය ලබා ගැනීමේ විපක්ෂයේ සිහිනය මේ වනවිට අවසන් වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාව පිළිබඳ අර්බුදයක් මවාපාමින් ආණ්ඩු බලය ලබාගැනීමට විපක්ෂය දැන් යම් උත්සාහයක සිටින්නේ ද යන්න සැක සහිත බව ද සඳහන් කළේය.

මෙම මාසයේදී සිදු වූ අපරාධ 5 පිළිබඳ විමර්ශනය කරන විට එය අපරාධ කල්ලි 5කින් සිදුව තිබෙන බවත් පරීක්ෂණ සිදු වනවිට තම දිශාවට පරීක්ෂණ යොමු වන බව අපරාධකරුවන් හඳුනා ගන්නා බවත්, එම අපරාධ කල්ලි කිහිපයක් එකම අවස්ථාවක ක්‍රියාත්මකවීම කුමත්‍රණයක්දැයි සැකයක් පවතින බවත් ජනාධිපතිවරයා හෙළි කළේය.

මෙම කුමන්ත්‍රණ හඳුනා ගනිමින් ඒවා මර්දනයට රජය පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා පැවසීය. කුමන්ත්‍රණවලින් ආණ්ඩු බලය හුවමාරු කළ යුගය අවසන් බවත්, ශිෂ්ටත්වය මතින් ආණ්ඩුවක් නිර්මාණය කළ හැකි බවත් ජනාධිපතිවරයා පැවසීය. රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරිය අපරාධ කල්ලිවලින් වියුක්ත කරන සමාජයක් ගොඩනඟන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ආරක්ෂක අංශවලට විදේශ පුහුණුව සඳහා ලබා දෙන දීමනා වැඩි කිරීමට මෙවර අය-වැය මඟින් යෝජනා කර තිබේ.

ගුවන් හමුදාවට හා නාවික හමුදාවට අවශ්‍ය යානා මිලදී ගැනීම සඳහා අය-වැය මඟින් ප්‍රතිපාදන වෙන්කර ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුවට පහසුකම් ලබා දීමට රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට නව බඳවා ගැනීම් සඳහා මුදල් වෙන්කර ඇති බවත් ගුවන් හමුදාවට සහ පොලීසියට 10,000 බැගින් බඳවාගැනීමට මෙවර අය-වැයෙන් මුදල් වෙන් කර තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ස්වර්ණා විජේකෝන් සහ

සන්ධ්‍යා කරුණාරත්න