යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කළ දූෂණ මර්දන ලේකම් කාර්යාලයට ලැබුණු පැමිණිලි ලිපිගොනු 1,200ක් විමර්ශනය කිරීම එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් විසින් නවත්වා දැමූ බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28) ප්‍රකාශ කළේය.
තමා එහි අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ අතර දේශපාලන පක්ෂ, ජනතාව සහ විවිධ ආයතන විසින් ලබා දෙන ලද පැමිණිලි එක්දහස් දෙසීයෙන් 500ක් අල්ලස් කොමිසම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ එෆ්.සී.අයි.ඩී. වෙත භාරදුන් බව ද හෙතෙම පැවැසීය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ආරක්ෂක හා මහජන ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට සිය අදහස් දක්වමිනි.
එම විමර්ශන අනුව මෙම ටික කාලයට අපරාධකරුවන්ගේ රුපියල් මිලියන 6,601ක දේපළ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපළ රුපියල් මිලියන 4,524ක්, පිරමීඩාකාර ක්‍රමයට උපයාගත් මිලියන 2,267ක්, මූල්‍ය අපරාධ මඟින් උපයාගත් මිලියන 1,054ක් ක්‍රියාවිරහිත කර ඇතැයි ද ඇමැතිවරයා කීය. පොලීසිය මෙන්ම සමස්ත රාජ්‍ය සේවයම මේ වන විට දේශපාලනීකරණයෙන් නිදහස් කර ඇතැයි පැවසූ මහජන ආරක්ෂක ඇමැතිවරයා දේශපාලනය මත පත්වීම් දීම ද මේ වන විට අහෝසි කර ඇති බවත් ඒ සඳහා ජනපති – අගමැති ඇතුළු සමස්ත ඇමැති මණ්ඩලයම කැපවී සිටින බවත් කීය. පොලීසියේ කිසිදු ස්ථාන මාරුවීමක් හෝ වෙනත් පත්කිරීමක් දේශපාලනය මත කර නැතැයි ද දේශපාලන මැදිහත්වීම් නොකරන ලෙස රජයේ ඉහළ නිලධාරීන්ටද දන්වා ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයන්හි අය – වැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් හෙතෙම කියා සිටියේය.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න








