මුහුදට කඩා වැටුණු යානයේ සිටි සියලුදෙනා බේරාගත් විශ්මිත ගුවන් මෙහෙයුම

ෆ්ලොරිඩා වෙරළට ඔබ්බෙන් වූ මුහුදට කඩා වැටුණු පෞද්ගලික ගුවන් යානයක සිටි මගීන් සියදුදෙනා පැය කිහිපයකින් නිරුපද්‍රිතව මුදා ගැනීමට අමෙරිකානු ගුවන් හමුදා සහ වෙරළාරක්ෂක බලකාය සමත්ව ඇත.

එම මෙහෙයුම සඳහා පැය 5කට වැඩි කාලයක් ගත වී ඇති අතර, මුදා ගැනීමට ගිය ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයේ ඉන්ධන අවසන් වීමට විනාඩි 5ක් වැනි කෙටි කාලයක් ඉතිරිව තිබියදී මෙම පිරිස මුදා ගැනීමට හැකි වීම හාස්කමක් බව සඳහන් වේ.

මුදාගැනීමේ මෙහෙයුමට නායකත්වය දුන් මේජර් එලිසබෙත් පියෝවටි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ , “මේ සියලුදෙනාම දිවි බේරා ගැනීම සැබවින්ම ආශ්චර්යයක්” බවය.

බහමාස් දූපත් සමූහයේ සිට පියාසර කරමින් තිබූ මෙම එන්ජින් දෙකේ Turboprop වර්ගයේ ගුවන් යානය, ෆ්ලොරිඩාවේ මෙල්බර්න් වෙරළට සැතපුම් 80ක් පමණ දුරින් අත්ලාන්තික් සාගරයට කඩා වැටී ඇත.

යානය අනතුරට පත්වන අවස්ථාවේ එහි වැඩිහිටියන් 11 දෙනෙකු ගමන් කරමින් සිට ඇත.

යානය මුහුදට වැටීමත් සමඟ ක්‍රියාත්මක වූ හදිසි සංඥා පද්ධතිය ඔස්සේ වෙරළාරක්ෂක බලකාය දැනුවත් වී ඇති අතර, ඒ අවස්ථාවේ පුහුණු මෙහෙයුමක නිරතව සිටි අමෙරිකානු ගුවන් හමුදාවට අයත් HC-130J යානයක් වහාම එම ස්ථානයට යොමු කර තිබේ.

අනතුර සිදුවී පැය පහක් පමණ ගතවන තුරු මෙම පිරිස ජීවිතාරක්ෂක පාරුවක ආධාරයෙන් මුහුදේ රැඳී සිට ඇත.

එම අවස්ථාවේ ගිගුරුම් සහිත වැසි එම ප්‍රදේශයට ළඟා වෙමින් තිබියදී සහන කණ්ඩායම් විසින් ඔවුන්ව නිරීක්ෂණය කර ඇති අතර, හෙලිකොප්ටර් මගින් ඔවුන්ව මුදාගැනීමට පෙර ආහාර, ජලය සහ අමතර ජීවිතාරක්ෂක මෙවලම් ගුවනින් හෙළීමට නිලධාරීන් පියවර ගෙන තිබේ.

පසුව සියලුදෙනා මුදා ගැනීමෙන් අනතුරු, ඔවුන්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා මෙල්බර්න් ඔර්ලෑන්ඩෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන ගොස් ඇත.

පෞද්ගලික ගුවන් යානය කඩා වැටීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැති නමුත්, යානයේ එන්ජිමේ ඇති වූ දෝෂයක් මීට හේතු වන්නට ඇති බවට මූලික විමර්ශනවලදී සැක කෙරේ.