අමෙරිකානු ප්‍රහාරක නෞකා 3ක් ඉලක්ක කර ඉරානය විසින් ප්‍රහාරයක් එල්ලකළ බවට චෝදනා කරමින්, අමෙරිකාවද ඊට ප්‍රතිචාර ලෙස ඉරාන හමුදා මධ්‍යස්ථාන වෙත ප්‍රහාරයක් එල්ලකර තිබේ.
විදෙස් වාර්තා සඳහන් කර සිටින්නේ, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් තිබූ USS Truxtun, USS Rafael Peralta සහ USS Mason යන අමෙරිකානු ප්‍රහාරක නෞකා ඉලක්ක කර එම ප්‍රහාරය එල්ල වී ඇති බවය.
එම ප්‍රහාරය තහවුරු කරමින් අමෙරිකානු හමුදාව ප්‍රකාශ කර ඇත්තේ, තම ‘ආත්ම ආරක්ෂාව’ උදෙසා තමන්ද ඉරානය වෙත ප්‍රතිප්‍රහාර දියත්කළ බවය.
එහෙත් එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් අමෙරිකානු යුද නැව්වලට කිසිදු හානියක් සිදුව නොමැති බව විදෙස් වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වේ.
අමෙරිකානු ආරක්ෂකද වැඩිදුරටත් සඳහන්කර ඇත්තේ, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ සිය යුද නැව් ඉලක්ක කර මිසයිල, ඩ්‍රෝන සහ කුඩා ප්‍රහාරක යාත්‍රා යොදා ගනිමින් එල්ල වූ ප්‍රහාර මාලාවකට ප්‍රතිචාර ලෙස තමන් මෙම මෙහෙයුම දියත් කළ බවය.
කෙසේ නමුත් ඉරාන ආරක්ෂක අංශ මීට පෙර ප්‍රකාශ කර තිබුණේ, හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වූ සිය තෙල් නෞකාවක් සහ තවත් යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල වූ බවය.
එමෙන්ම එම ප්‍රහාර සිවිල් ප්‍රදේශද ඉලක්ක කර සිදු කිරීමෙන් අමෙරිකාව සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවටත් ඉරානය එහිදී චෝදනා කර තිබුණි.
අමෙරිකානු හමුදාවට අනුව තම නාවික බළකාය ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට භාවිත කළ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන දියත් කිරීමේ මධ්‍යස්ථාන, අණදෙන හා පාලන මධ්‍යස්ථාන මෙන්ම බුද්ධි තොරතුරු මෙහෙයුම් පහසුකම් මධ්‍යස්ථාන ඉලක්ක කර අදාළ ප්‍රතිප්‍රහාර මාලාව දියත් කර තිබේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්රිත Qeshm Island ඇතුළු පර්සියානු ගල්ෆ් වෙරළබඩ ප්‍රදේශ කිහිපයක ප්‍රබල පිපිරීම් කිහිපයක් ඇසුණු බව ඉරාන රාජ්‍ය මාධ්‍යද වාර්තා කර තිබේ.
එම වාර්තාවලට අනුව, Bandar Abbas ආසන්න ප්‍රදේශයේදී සතුරු බළකා සමග ඉරාන සන්නද්ධ හමුදා වෙඩි හුවමාරුවක නිරත වූ බව සඳහන් කර ඇත.
මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, කලාපයේ උණුසුම් තත්ත්වය පැවතියද පාර්ශවයන් අතර පවතින සටන් විරාමය තවමත් බලපැවැත්වෙන බවය.








