පසුගිය වසර තුන තුළ දරුණු ගණයේ අපරාධකරුවන් 30 ක් දිවයිනට රැගෙනවිත් තිබෙනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පසුගිය වසර තුනක කාලය තුළ දරුණු ගණයේ අපරාධකරුවන් 30 දෙනකු මෙරටට රැගෙන ඒමට සමත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසනවා.

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව ද සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවත්, ඒ අනුව සැකකරුවන් 13 දෙනෙකු දිවයිනට ගෙන්වා ගත් බවත් ඔහු සඳහන් කළා. 

පසුගිය 28 වැනිදා ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ සැකකරුවන් දෙදෙනා ද එලෙස රතු නිවේදන නොමැතිව රැගෙන ආ පිරිසක් බවයි අද (30) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ.

එසේම සංවිධානාත්මක අපරාධකරුවන් 88 දෙනෙකු සඳහා මේ වන විට රතු නිවේදන නිකුත් කර ඇති බව ද සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් වැඩිදුරටත් සඳහන් කළා.