වෛද්‍යවරුන්ගේ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම සහ දුෂ්කර සේවා ස්ථාන මාරු ක්‍රියාවලිය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කරන අක්‍රමිකතා නිවැරදි නොකරන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය.
මෙම අක්‍රමිකතා හෙට (31) උදෑසන 8 වන විට නිවැරදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකරන්නේ නම් අද (30) දින රැස්වන විධායක කාරක සභාව සහ මධ්‍යම කාරක සභාව මඟින් ගන්නා තීරණය ක්‍රියාවට නංවන බව ද ඒ මහතා පැවසුවේය.
දුෂ්කර සේවා ස්ථාන 393කින් සමන්විත වූ දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව, කිසිදු විද්‍යාත්මක පදනමක් හෝ පාර්ශ්වකරුවන්ගේ එකඟතාවක් නොමැතිව සහ ස්ථානමාරු මණ්ඩලයේ අනුමැතියකින් තොරව සේවා ස්ථාන 265ක් දක්වා අඩු කරමින් ආයතන 128ක් කප්පාදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇතැයි ද හෙතෙම කීය.
එසේ ඉවත් කළ කිසිදු සෞඛ්‍ය සේවා ස්ථානයක පහසුකම් පසුගිය කාලයේදී වර්ධනය වී නොමැති අතර ඇතැම් රෝහල් පෙරටත් වඩා දුෂ්කරතා සහිත සේවා ස්ථාන බවට පත් වී ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ස්වාධීන විය යුතු බවත් එය දේශපාලනීකරණය වීම කිසිසේත්ම නොවිය යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු දේශපාලනීකරණය කිරීමට කටයුතු කරන ඕනෑම රජයකට එරෙහිව සංගමය ක්‍රියාත්මක වන බවත් වෛද්‍ය පත්වීම් දේශපාලනීකරණය වීමක් කිසිසේත්ම සංගමය අපේක්ෂා නොකරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
පක්ෂ, විපක්ෂ කවර හෝ දේශපාලනඥයකුගේ හෝ කණ්ඩායමකගේ අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් සහ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ප්රමුඛ සෞඛ්‍ය සේවකයන්, රාජ්‍ය සම්පත් සහ මහජන බදු මුදල් “අවභාවිත˝ කිරීමට ගන්නා උත්සාහය සංගමය තරයේ හෙළා දකින බව ද ඒ මහතා පැවසුවේය.
සන්ධ්‍යා කරුණාරත්න







