ගුවන් හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව නුවරඑළිය, නානුඔය, ඩෙස්ෆෝඩ් (DESSFORD) දෙමළ මහා විද්‍යාලයට නව තොරතුරු තාක්ෂණ පරිගණක මධ්‍යස්ථානයක් ලබා දී තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව, වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අංශය විසින් ඩෙස්ෆෝඩ් දෙමළ මහා විද්‍යාලයේ සිසුන් සඳහා අංගසම්පූර්ණ පහසුකම් සහිත නව තොරතුරු තාක්ෂණ (IT) පරිගණක මධ්‍යස්ථානයක් ඉදිකරනු ලැබ තිබෙන අතර මෙම මධ්‍යස්ථානය පසුගියදා සිසු අයිතියට පත් කෙරිණි. සිසුන්ට නවීන තාක්ෂණික ඉගෙනුම් පරිසරයක් ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය අංග රැසකින් සමන්විත වන අතර, වායු සමීකරණය කරන ලද නව තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය, ඩෙස්ක්ටොප් පරිගණක 15ක්, UPS පද්ධති සහ අන්තර්ජාල පහසුකම් ඒ අතර වෙයි. මෙම පහසුකම් මඟින් පාසල් සිසුන්ට නවීන තොරතුරු තාක්ෂණ මෙවලම් භාවිත කරමින් තම අධ්‍යාපන කටයුතු සිදුකිරීමට අවස්ථාව සැලසේ.
මෙම ව්‍යාපෘතිය සඳහා Alengko Foundation සහ ඕස්ට්‍රේලියාවේ හා ජර්මනියේ පදිංචි ශ්‍රී ලාංකික ප්‍රජාව මූල්‍ය දායකත්වය ලබා දී ඇති අතර, එහි ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදා පිදුරුතලාගල කඳවුරේ මූලිකත්වයෙන් සිදු කර ඇත.
පරිගණක මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාව සඳහා ගුවන් හමුදාවේ අධ්යක්ෂ ජනරාල් විද්‍යුත් හා තොරතුරු තාක්ෂණ ඉංජිනේරු එයාර් වයිස් මාර්ෂල් අසිත හෙට්ටිආරච්චි, තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ ගෲප් කැප්ටන් චානක සූරියආරච්චි සහ ගුවන් හමුදා පිදුරුතලාගල කඳවුරේ අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් චින්තක ජයසුන්දර මහත්වරු ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් සහභාගි වූහ. මීට අමතරව Alengko පදනමේ සාමාජිකයන්, පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරුන් සහ සිසු දරු දැරියන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මහින්ද අලුත්ගෙදර







