පික්මී සහ ඌබර් ඉන්ධන කෝටාව වැඩි කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටී

දැනට උද්ගතව ඇති ඉන්ධන සීමාකිරීමේ තත්ත්වය හමුවේ, සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ජංගම දුරකථන යෙදුම් මත පදනම් වූ ප්‍රමුඛතම සේවාවන් වන PickMe සහ Uber රජයෙන් ඉල්ලා සිටියි.

ජනතාවට ප්‍රවාහන, ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා වෙත ප්‍රවේශය ලබා දීමේදී මෙම සේවාවන් ඉටු කරන වැදගත් කාර්යභාරය අවධාරණය කරමින්, වැඩි වශයෙන් ක්‍රියාශීලී රියදුරන් සහ බෙදාහැරීම් හවුල්කරුවන් සඳහා වැඩි ඉන්ධන කෝටාවක් ලබා දීම පිළිබඳව සලකා බැලීමක් කරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම මූලික ජංගම දුරකථන යෙදුම් සේවාවන් දෙක ශ්‍රී ලංකාව පුරා සතියකට ගමන්වාර සහ බෙදාහැරීම්වාර මිලියන ගණනක් සඳහා පහසුකම් සපයයි. ඉන්ධන සීමාකිරීමේ තත්වය යටතේ  මෙම සේවාවන් සඳහා ඉල්ලුම වැඩිවීමත් සමඟ, දැනට වාහනයකට සතියකට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය මත පදනම්ව රියදුරන්ට සහ භාණ්ඩ බෙදාහරින්නන් හට එම ඉල්ලුම සපුරාලීම අතිශයින් දුෂ්කර වනු ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

ගමන්වාර ප්‍රමාණයන් සහ රියදුරු/භාණ්ඩ බෙදාහරින්නන්ගේ  ක්‍රියාකාරීත්වය පදනම් කරගනිමින් ඉන්ධන භාවිතය කාර්යක්ෂම කිරීමටත්, අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා පුද්ගලික වාහන භාවිතය අවම කිරීමටත් මෙම ජංගම දුරකථන යෙදුම් සහාය වනු ඇත. අත්‍යවශ්‍ය සේවා සැපයීමට අමතරව, සංචාරක කර්මාන්තයටද දායක වන අතරම මෙම සේවාවන් මත තම ආදායම සඳහා රඳා පවතින දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවනෝපාය ආරක්ෂා කිරීමටද මෙම ජංගම දුරකථන යෙදුම් වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ඇත.

සාමූහික මාධ්‍ය ප්‍රකාශනයකදී පික්මී සහ ඌබර් සඳහන් කළේ, “මාර්තු 21දින රජය විසින් සාමාන්‍ය ඉන්ධන කොටාව වැඩි කිරීමට ගනුලැබූ තීරණය පවත්නා අපහසුතාවන් අවම කිරීමට ගනුලැබූ නිශ්චිත පියවරක් ලෙස අප  අගය කොට සලකනවා.

නමුත් ශ්‍රී ලංකාව පුරා අත්‍යාවශ්‍ය ප්‍රවාහන සහ භාණ්ඩ බෙදාහැරීමේ සේවාවන් පවත්වාගෙන යාමට ජංගම දුරකථන යෙදුම් ඔස්සේ ක්‍රියාත්මක වන රියදුරන් සිදුකරන කාර්යභාරය සලකා බැලීමේදී, වැඩිකල ඉන්ධන කෝටාව එම සේවාවන් නිසි ලෙස පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නොවේ. එමනිසා ජංගම දුරකථන යෙදුම් ඔස්සේ ක්‍රියාත්මක වන රියදුරන්ට සතියකට ලබා දෙන ඉන්ධන කෝටාව වැඩි කිරීම පිළිබඳව සලකා බලන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටින්නෙමු.

අත්‍යාවශ්‍ය ප්‍රවාහන සහ බෙදාහැරීමේ සේවාවන් අඛණ්ඩව සිදු කිරීමටත්, එම සේවාවන් සපයන රියදුරන්ගේ ජීවනෝපාය නිසිලෙස පවත්වාගැනීමටත්, මෙම කාලය තුළ ජංගම දුරකථන යෙදුම් මත පදනම් වූ සේවාවන් මත යැපෙන ජනතාවට අඛණ්ඩව සේවා සඳහා ප්‍රවේශය පවත්වාගෙන යාමටත්, මෙම සේවාවන් සඳහා ඉන්ධන ලබාදීම ශක්තිමත් කිරීම උපකාරීවේ.” යනුවෙනි.