වනජීවී නීති රීතිවල සැබෑ අරමුණ වනසතුන් දඩයම් කරන්නන් සහ ජාවාරම්කරුවන් මැඩලීම වුවද, මරණාසන්නව සිටි වනසතෙකුගේ ජීවිතය බේරාගත් කරුණාවන්ත ලක්ෂාන් නම් තරුණයෙකුට අධිකරණය හමුවේ රුපියල් 50,000ක දඩයක් ගෙවීමට සිදුවීම මනුෂ්‍යත්වය අගයන සමස්ත ලාංකේය ජනතාවගේම කනගාටුවට කරුණක්,
‘බැකෝ යන්ත්‍රයකට හසුවී දරුණු ලෙස තුවාල ලබා මියැදෙන්නට ගිය අසරණ පිඹුරෙකු සිය නිවසට රැගෙන ගොස්, තමන්ගේම කාලයත් ශ්‍රමයත් වැය කරමින් එම සත්වයාගේ තුවාල 80% ක් පමණ සුවපත් කළ ලක්ෂාන් සහෝදරයා අද වරදකරුවෙකු කර තිබේ. වනජීවී නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳව අපට විවාදයක් නැත. නමුත් අප අසන ප්රශ්නය නම්, නීතිය අකුරටම ඉටු වෙද්දී ‘යුක්තිය’ ඉටු වූවාද යන්නයි.
වනජීවී ආඥාපනත සැකසී ඇත්තේ වනසතුන් මරාගෙන කන්නන්, හිංසා කරන්නන් සහ ජාවාරම්කරුවන් කොටු කර ගැනීමට මිස, පිරිසිදු චේතනාවෙන් ජීවිතයක් සුරැකි වීරයන්ට දඬුවම් දීමට නොවේ. මෙවැනි සිදුවීම් හරහා සමාජයට ලැබෙන්නේ ඉතා භයානක පණිවිඩයකි. හෙට දිනයේ පාරේ තුවාල වී සිටින සතෙකු දුටුවත්, නීතියට සහ දඩ මුදලට බියෙන් මුහුණ හරවාගෙන යන අකරුණාවන්ත සමාජයක් බිහි කිරීමට මෙම ක්‍රියාවන් ඉවහල් වනු ඇත.
සොබාදහමට සහ වනසතුන්ට ආදරය කරන මිනිසුන් යනු රටකට සම්පතකි. රජයට හෝ නිලධාරීන්ට පමණක් තනිවම පරිසරය රැකිය නොහැකි අතර මෙවැනි ස්වේච්ඡා මැදිහත්වීම් අප අගය කළ යුතුය. එම තරුණයා සිදු කර ඇත්තේ තමන්ට පෞද්ගලික ලාභයක් අපේක්ෂාවෙන් කළ වැඩක් නොව; හුදෙක් කරුණාව පෙරදැරි කරගෙන කළ උතුම් සේවයකි.
එබැවින් ගැමුණු පරපුර ජාතික ව්‍යාපාරය ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, වනජීවී නීති ක්‍රියාත්මක කිරීමේදී පුද්ගලයෙකුගේ ‘චේතනාව’ (Intent) සලකා බැලීමට තරම් නීතිය නම්‍යශීලී විය යුතු බවයි. සත්ව ඝාතකයන් නිදැල්ලේ සිටියදී, ජීවිතයක් රැකගත් මේ තරුණයා වෙනුවෙන් යුක්තිය ඉටු විය යුතුය. මෙම අසාධාරණයට එරෙහිව අප ව්‍යාපාරය ඉදිරියේදීත් හඬ අවදි කරන බව අවධාරණය කරමු.’
ලහිරු වසන්ත,
නායක,
ගැමුණු පරපුර ජාතික ව්‍යාපාරය.








