ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර විශේෂ හමුවක් පැවැත්විණි.
එම හමුව පසුගිය බදාදා (18) ටෝකියෝ නුවර පිහිටි එරට ආරක්ෂක අමාත්‍යාංශයේදී පවත්වන ලදී.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සහ ජපාන ආරක්ෂක අමාත්‍ය ෂින්පිරෝ කොයිසුමි මහතා අතර මෙම හමුව පැවැත්වී ඇති අතර, සමුද්‍රීය ආරක්ෂාව, ආපදා කළමනාකරණ හැකියාවන් සහ ඉන්දු-පැසිෆික් කලාපයේ ස්ථාවරත්වය වර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු කර තිබේ.
මෙහිදී “නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික්” දැක්ම යටතේ කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවීමේ වැදගත්කම ජපාන පාර්ශවය විසින් අවධාරණය කර ඇත.
ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ජයසේකර මහතා, ඉන්දීය සාගර කලාපයේ ශ්‍රී ලංකාව සතු භූගෝලීය වැදගත්කම සහ සමුද්‍රීය ආරක්ෂාව සුරැකීමේ කාර්යභාරය අවධාරණය කරමින්, ජාත්‍යන්තර නීති සහ සම්මුතීන්ට අනුකූලව කලාපීය සාමය සඳහා කැපවී සිටින බව පෙන්වා දී ඇත.
එමෙන්ම, මෑතකදී ජපාන සමුද්‍රිය ස්වයං ආරක්ෂක බළකායේ JS Onami නෞකාව කොළඹ වරායට පැමිණ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පැවැත්වූ නාවික අභ්‍යාසය පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
ඉදිරියේදී ඒකාබද්ධ නාවික අභ්‍යාස, නෞකා සංචාර, පුහුණු වැඩසටහන් සහ මානුෂීය ආධාර හා ආපදා සහන ක්ෂේත්රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ ඇත.
ජපානය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති තාක්ෂණික සහාය, විශේෂයෙන් සමුද්‍රීය ආරක්ෂාව සහ කාලගුණ අනාවැකි පද්ධති ශක්තිමත් කිරීම සඳහා දායක වූ වැඩසටහන් පිළිබඳවද මෙහිදී කෘතඥතාව පළ කර තිබේ.







