සිවිල් වැසියන්ට සහ සිවිල් යටිතල පහසුකම්වලට එරෙහි සෑම ප්‍රහාරයක්ම හෙළා දකින බව ශ්‍රී ලංකා රජය පවසනවා.
මැදපෙරදිග සහ බටහිර ආසියාවේ වේගයෙන් වර්ධනය වන ගැටුම්කාරී වාතාවරණය සිවිල් ජනතාවට ඍජු තර්ජනයක් වන බැවින්, ඒ පිළිබඳව සිය කනස්සල්ල පළ කරන බවයි මැදපෙරදිග යුද තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කළේ.
සෑම අයුරකින්ම සිවිල් වැසියන් ආරක්ෂා කිරීම ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ මූලික වගකීමක් බවත්, මිනිස් ජීවිතයේ පරිශුද්ධභාවය සහ ගෝලීය සාමය ආරක්ෂා කිරීම සඳහා වූ සිය කැපවීම තුළ ස්ථිරව සිටින බවත් එමඟින් පෙන්වා දී තිබෙනවා.
ඕනෑම රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවට හෝ දේශපාලන ස්වාධීනත්වයට එරෙහිව බලය යෙදවීම තහනම් කරන එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ මූලධර්ම සහ අරමුණුවලට ගරු කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකාව යළිත් අවධාරණය කරනවා.
එසේම සියලුම රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව සඳහා දැඩි ලෙස කැපවී කටයුතු කරන රාජ්‍යයක් ලෙස, මෙම ඉපැරණි මූලධර්මවලට ගරු කරන ලෙසට යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවද සඳහන්.
කලාපය තුළ සහ ඉන් ඔබ්බට ස්ථාවරත්වය සාමය සහ ආරක්ෂාවට එල්ල වන බරපතළ තර්ජනය සැලකිල්ලට ගනිමින්, අර්ථවත් සංවාදයක නිරත වන ලෙසත්, ගැටුම්කාරි වාතාවරණය සමනය කිරීම සඳහා තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.








