පොහොර ප්‍රවාහන ගාස්තුව ඉහළ දමා ඇති බවට ගොවීන්ගෙන් චෝදනා 

යල කන්නය සඳහා පොහොර ලබාදීමේදී ගොවීන්ගෙන් අයකළ ප්‍රවාහන ගාස්තුව ඉහළ දමා ඇති බවට ගොවීන් චෝදනා කරති. 

මීට පෙර රුපියල් 50ක්වූ එම ගාස්තුව මේ වනවිට රුපියල් 300ක් දක්වා වැඩි කර ඇති බව ඔවුන් පෙන්වා දෙති. 

මෙලෙස වැඩි කර ඇත්තේ, පොහොර කොළඹ සිට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත රැගෙන යෑම සඳහා ගොවීන්ගෙන් මෙතෙක් අයකළ ගාස්තුවය. 

එමෙන් පොහොර ලබාදීම සඳහා පොහොර මිටියක් වෙනුවෙන් රුපියල් 9, 550ක මුදලක් ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් මේ වනවිටත් අය කරගෙන ඇති බව සඳහන්ය.

මේ අතර ප්‍රමාණවත් පොහොර ලබාදීමට නොහැකි බවට කෘෂිකර්ම නියෝජ්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.

ඔහු මෙම ප්‍රකාශය සිදු කරනු ලැබුවේ, වී වගාව සඳහා අක්කරයක් වෙනුවෙන් යූරියා කිලෝ ග්‍රෑම් 90ක් යෙදිය යුතු බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින්ම නිර්දේශකර ඇති පසුබිමකය. 

කෙසේවෙතත් ඒ සඳහා යෙදිය යුතු පොහොර නිසි ලෙස තවමත් නොලැබුණු බවට ගොවීන් චෝදනා කරති.

අම්පාර, පොළොන්නරුව, අනුරාධපුරය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක මෙවර යල කන්නය සඳහා වී වගාව ආරම්භ කර මේ වනවිට මාසයක පමණ කාලයක් ඉක්මවා තිබේ.