පාසල නිමවී නිවසට යමින් සිටි 12 හැවිරිදි පාසල් සිසුවියකට කෲර ලෙස වද හිංසා පමුණුවා ඝාතනය කර පාළු ළිඳකට දැමීමේ සිද්ධියකට වරදකරු වූ විත්තිකරුවකුට බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත ඊයේ (08) මරණීය දණ්ඩනය නියම කළා.
මෙලෙස මරණ දණ්ඩනය නියම වූයේ අම්බලන්ගොඩ, තල්ගස්ගොඩ ප්‍රදේශයේ පදිංචි මාරකන්දහේවා නලිදු සම්පත් හෙවත් ‘පුංචා’ (37) නමැත්තෙකුටයි.
ඔහු මෙම අපරාධය සිදු කර ඇත්තේ 19 වන වියේ පසුවෙද්දී බව නඩු විභාගයේදී අනාවරණය වුණා.
2008 වසරේ දෙසැම්බර් මස අම්බලන්ගොඩ ප්‍රදේශයේදී සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි කිසිවක් තිබී නැති බවට අනාවරණය වී තිබෙනවා.
එහෙත් දැරිය ඝාතනය කර තිබූ ස්ථානයේ වැටී තිබී පොලිසිය සොයාගත් පිරිමි කමිසයක මඩ තැවරුණු සාක්කුවක්, බොත්තමක් සහ පිරිමි සෙරෙප්පුවක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබිණා.
එම භාණ්ඩ විත්තිකරුට අයත් බවට විද්‍යාත්මකව තහවුරු වීම මත, පරිවේෂණීය සාක්ෂි පදනම් කරගනිමින් විනිසුරුවරයා මෙම තීන්දුව ලබා දුන්නා.
අධිකරණ වෛද්‍ය වාර්තාවලට අනුව, මෙම දැරියගේ මරණය සිදුව ඇත්තේ මොට බලයක් යෙදීමෙන් හිසට සහ ගෙළට සිදුවූ බරපතල තුවාල හේතුවෙන්.
හිස් කබල බිඳී යාම, මොළය අභ්‍යන්තරයේ සිදුවූ දරුණු රුධිර වහනය සහ ගෙළ ප්‍රදේශයේ මාංශ පේෂි තැලීම මරණයට හේතු වී තිබුණු බවට අධිකරණයේදී කරුණු හෙළිව තිබුණා.
මිනීමැරුම් චෝදනාවට අමතරව, දැරිය අපහරණය කිරීමේ චෝදනාවට ද විත්තිකරු වරදකරු වූ අතර ඊට වසර 5ක සිර දඬුවමක් සහ රුපියල් 25,000ක දඩයක් නියම වුණා.
විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බව නිවේදනය කළ මහාධිකරණ විනිසුරුවරයා, විත්තිකරු වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ජනාධිපතිවරයා නියම කරන දිනයක හා වේලාවකදී ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා මරා දැමීමට නියෝග කළා.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ සෙනුරි ගුණතිලක පෙනී සිටි අතර අම්බලන්ගොඩ පොලිසිය විමර්ශන මෙහෙයවූවා.







