රැඳවියන් පිරිසක් ගාල්ල බන්ධනාගාරයේ පැවැත්වු උපන්දින සාදයක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන වීඩීයෝව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක මහතා සඳහන් කර ඇත්තේ, ගාල්ල බන්ධනාගාරයෙන් අදාළ සිදුවීම පිළිබඳ වාර්තාවක් ඉල්ලා ඇති බවයි.
ගාල්ල බන්ධනාගාරයේ සී වාට්ටුව තුළ කේක් කපමින් උපන්දින සාදයක් පවත්වන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් මෙම දිනවල සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වෙයි.
අපරාධකල්ලි සමාජිකයෙකු බව කියන ‘අහුංගල්ලේ ලොකු පැටී’ නැමැත්තාගේ සමීපතමයෙකු වන නාමල් නොහොත් ‘පොඩියා’ නැමැත්තාගේ උපන්දිනය මෙලෙස සමරා ඇති බව අදාළ වාර්තාවල දැක්වෙන බව සඳහන් වෙයි.
රැඳවියන් පිරිසක් විසින් එම සැමරුම ඡායාරූප සහ වීඩියෝගත කර ඒවා සමාජ මාධ්‍යවලටද මුදාහැර ඇති බව සඳහන් වෙයි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක මහතා සඳහන් කළේ, මෙම සිදුවීම බන්ධනාගාරය තුළ සිදුවු සත්‍ය සිදුවීමක් ද යන්න පිළිබඳව සහ කුමන කාලයේ සිදුවූවක්ද යන්න පිළිබඳ සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගාල්ල බන්ධනාගාර නිළධාරීන්ට දැනුම් දී ඇති බවයි.








