කෙහෙළියගේ මුදල් විශුද්ධිකරණයට සහාය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා රිමාන්ඩ් කිරීමට නියෝග

හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විසින් අයථා ලෙස උපයා ගන්නා මුදල් විශුද්ධිකරණයට සහාය ලබා දුන්නේ යැයි අත්අඩංගුවට ගන්නා ලද මැණික් ව්‍යාපාරිකයකු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

සෙනෙවිරත්න බණ්ඩාර රඹුක්වැල්ල නමැති මෙම සැකකරු අල්ලස් කොමිසම විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණු අතර, ඉන් අනතුරුව එම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු හිටපු අමාත්‍යවරයා සමඟ මුදල් විශුද්ධිකරණ කටයුතුවලට සම්බන්ධ වී ඇති බවට ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත්, මේ අවස්ථාවේදී සැකකරුට ඇප ප්‍රදානය කළහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදු විය හැකි බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටි අතර, ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු ඇප මත මුදා හරින්නැයි ඉල්ලීම් කළ අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ සැකකරු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබුවා.