වතු සේවක වැටුප රු. 1750ට නංවන්න රජය-වතු සමාගම් ගිවිසුමක

අය-වැය මඟින් ඉදිරිපත් කළ වතු කම්කරු ප්‍රජාවගේ වැටුප රුපියල් 1,750 දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ රජය අද (30) ගිවිසුම්ගත වේ.

ජනාධිපතිවරයා විසින් 2026 අය-වැය මඟින් වතු කම්කරු ප්‍රජාවගේ මූලික වැටුප රුපියල් 1,350 සිට රුපියල් 1,550ක් දක්වා රුපියල් 200කින් ද, පැමිණීමේ දීමනාව ලෙස රුපියල් 200ක මුදලක් ද රජය විසින් ගෙවීමටද යෝජනා කළේය. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 5,000ක මුදලක් ද අය-වැයෙන් වෙන් කර තිබේ.

මේ අනුව වතු කම්කරු ජනතාවගේ වැටුප රුපියල් 400කින් වැඩි වන අතර, එය වතු කම්කරු ජනතාව මෙරටට පැමිණ ගෙවුණු වසර 200ක කාලය තුළ ලැබෙන ඉහළම වැටුප් වැඩි වීමද වේ. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයත්, කම්කරු අමාත්‍යාංශය සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ අදාළ ගිවිසුම්ගත වීම අද (30) පෙරවරු 9.00 ට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී සිදු කෙරේ.

වතුකම්කරු වැටුප ඉහළ නැංවීමේ යෝජනාව අනුව යමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයරත්න මහත්වරුන් ප්‍රමුඛ කණ්ඩායමක් ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ අදාළ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබිණි.